Sat. Jun 28th, 2025

ආසියානු රග්බි ශුරයින්ගේ අවසන් සටන හෙට

May3,2024

ආසියානු ශූරතා පළමු කොටසේ රග්බි තරගාවලියේ අවසාන මහා තරගය ශ්‍රී ලංකාව සහ කසකස්ථානය අතර හෙට (04 වැනිදා) ප. ව. 07.00 ට කොළඹ හතේ රීඩ් මාවතේ පිහිටි පැරණි තුරඟ තරග පිටියේ දී පැවැත්වේ.

අවසන් පූර්ව තරගවලදී ශ්‍රී ලංකාව විසින් ඉන්දියාව පරාජය කරමින්ද, කසකස්ථානය විසින් කටාර් රාජ්‍යය පරාජය කරමින්ද අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීය.

නවතම ලෝක ශ්‍රේණිගත කිරීමට අනුව 44 වැනි ස්ථානයේ ශ්‍රී ලංකාව පසුවන අතර කසකස්ථානය 64 වැනි ස්ථානයේ පසු වේ.

තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය ලෙස ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති තරගය ලකුණු 45 – 10 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ.

ඉන්දියාව ලෝක ශ්‍රේණිගත කිරීමට අනුව 87 වැනි ස්ථානයේ පසු වේ.

ශ්‍රී ලංකා ජයග්‍රහණය වෙනුවෙන් පළමු තරගයේදී ආක්‍රමණශීලි ක්‍රීඩා රටාවක නිරත වූ පුලස්ති දසනායක තෙනුක නානායකාර, තරින්ද රත්වත්තේ, හිරුෂ නෙත්මිණ, සුදර්ශන දික්කුඹුර යන ක්‍රීඩකයෝ අවසන් තරගයේදී ද දස්කම් දැක්වුවහොත් ශ්‍රී ලංකාවට කුසලානය හිමිකර ගැනීමට වැඩි ඉඩකඩක් ඇත.

ලෝක ශ්‍රේණි ගත කිරීමට අනුව 94 වැනි ස්ථානයේ පසු වන කටාර් රාජ්‍යය ලකුණු 33 – 31 ක් ලෙස පරාජයට පත් කරමින් පළමු අවසන් පූර්ව තරගය ජය ගනිමින් කසකස්තානය අවසන් මහ සටනට සුදුසුකම් ලැබීය. මේ අතර තරගාවලියේ තෙවන ස්ථානය දිනා ගැනීම සඳහා කටාර් රාජ්‍යය සහ ඉන්දියාව හෙට (04 වැනිදා) ප.ව.4.00 ට තරග වැදීමට නියමිතය.

කොළඹ හතේ රීඩ් මාවතේ පිහිටි පැරැණි තුරඟ තරග පිටියේ දී මෙම තරගය ද පැවැත්වේ.

නිපෝන් පේන්ට් ලංකා ආයතනයේ ප්‍රධාන අනුග්‍රහය ඇතිව මෙම තරගාවලිය පැවැත්වේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *