Sat. Jun 28th, 2025

පෙම්වතිය බැලීමට ගොස් අතුරුදන් වූ තරුණයාගේ මළ සිරුර හමුවෙයි

May7,2024

පෙම්වතිය බැලීමට ගොස් අතුරුදන් වූ කුලියාපිටියේ පදිංචිව සිටි තරුණයාගේ මළ සිරුර මාදම්පේ, පනිරෙන්ඩාව ප්‍රදේශයේ තිබී සොයාගෙන ඇතැයි පොලීසිය පවසයි.

කැලෑවක තිබී අදාළ මළ සිරුර සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා කියා සිටියේය.

පසුගිය අප්‍රේල් 22 වනදා කුලියාපිටිය, ඉලුක්හේන ප්‍රදේශයේ තරුණයෙකු අතුරුදන් වී ඇති බවට පොලීසියට ලද තොරතුරක් මත පරීක්ෂණ ආරම්භ කර තිබිණි.

ඒ අනුව තොරතුරු ලද ප්‍රදේශ අනුව පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ ආරම්භ කර තිබූ අතර සැකකටයුතු පුද්ගලයෙකු අදාළ සිදුවීමෙන් පසුව එම ප්‍රදේශයෙන් පළා යෑම හේතුවෙන් ඒ ඔස්සේ පරීක්ෂණ සිදුකර තිබිණි.

අදාළ සැකකරු බිරිඳ හා දරුවා සමග ප්‍රදේශයෙන් පළා ගොස් තිබීම හේතුවෙන් පොලීසිය ඔහුගේ මව සහ පියා අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්වුණි.

එමෙන්ම අපරාධයකට අනුබල දුන්යායැයි සැකය මත වැලිමඩ හා කැප්පෙටිපොළ ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගෙන පරීක්ෂණ කටයුතු සිදුකර තිබූ බව පැවසු නිහාල් තල්දූව මහතා, ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් ලද තොරතුරු මත තවත් සැකකුරුවෙකු අත්අඩංගුවට ගත් බව ද පැවසීය.

ඒ අනුව අතුරුදන්ව ඇති තරුණයාව ඝාතනය කර ඇති බවට අනාවරණය වූ නමුත් එය සිදුකළ ආකාරය හෝ එයට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳව මෙතෙක් අනාවරණය කර ගැනීමට නොහැකි වූ බව ද නිහාල් තල්දූව මහතා කියා සිටියේය.

මීට අමතරව අදාළ තරුණයා පැහැරගෙන යෑම සම්බන්ධයෙන් පළාගොස් සිටි ප්‍රධාන සැකකරු ඊයේ (06) කුලියාපිටිය අධිකරණයට ඉදිරිපත් වූ බවද පැවසු නිහාල් තල්දුව මහතා, මෙතෙක් ඝාතනය සිදුකළ පුද්ගලයා පිළිබඳ තොරතුරු අනාවරණය වී නොමැති බව ද පැවසීය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *