Mon. Jun 30th, 2025

වේග සීමා රෙගුලාසි ඇතුළත් ගැසට් පත්‍රය ඉදිරි සති දෙක ඇතුළත

Jul11,2024

වර්තමානයේ ආරම්භ කර තිබෙන වැඩවර්ජන සැබෑ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් නොව දේශපාලන අවශ්‍යතා මත සිදු වන්නක් බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා

එසේම මාර්ග අනතුරු අවම කර ගැනීම සඳහා වේග සීමා සම්බන්ධයෙන් අවශ්‍ය කෙරෙන රෙගුලාසි ඇතුළත් ගැසට් පත්‍රය ඉදිරි සති දෙක ඇතුළත නිකුත් කිරීමට තීරණය කර තිබෙන බවයි ඒ මහතා සඳහන් කළේ.

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (11) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා

ප්‍රවාහන ක්ෂේත්‍රයේ ඵලදායීතාවය ඇති කිරීම වෙනුවෙන් මේ වන විට අප විසින් වැඩසටහන් රාශියක් ආරම්භ කර තිබෙනවා. ඊට සමගාමීව කඩවත බස් නැවතුම්පළ අගොස්තු මාසයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතයි. මෙම බස් නැවතුම්පල තුළ නවීන ප්‍රවාහන කළමනාකරණ ක්‍රමවේද සහ නවීන තාක්ෂණය ද යොදා ගෙන තිබෙනවා.
ඒ වගේම 2023 වර්ෂයේ මාර්ග රිය අනතුරු 2214ක් වාර්තා වුණා. එම මාර්ග අනතුරු ආශ්‍රිතව පුද්ගල මරණ 2321ක් සිදුව තිබෙනවා. මෙම වසරේ ද ඉකුත් මස 30 වනදා වන විට මාර්ග රිය අනතුරු 1103ක් වාර්තා වී තිබෙනවා. එම මාර්ග අනතුරු හේතුවෙන් පුද්ගල මරණ 1154ක් වාර්තා වී තිබෙනවා. එම නිසා මෙම තත්ත්වය අවම කර ගැනීම සඳහා විවිධ වැඩසටහන් ගණනාවක් අප අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක කර තිබෙනවා.

මාර්ග ආශ්‍රිත වේග පාලනය කිරීම සඳහා අවශ්‍ය යන්ත්‍ර මිලදී ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා පොලීසියට මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව විසින් රුපියල් මිලියන 50ක මුදලක් ලබාදීමට තීරණය කර තිබෙනවා. ඒ වගේම ප්‍රවාහන අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් මාර්ග ආශ්‍රිත වේග සීමා සම්බන්ධයෙන් අවශ්‍ය කෙරෙන රෙගුලාසි ඇතුළත් ගැසට් පත්‍රය ඉදිරි සති දෙක ඇතුළත නිකුත් කිරීමට නියමිතයි.

එමෙන්ම පාසල් මට්ටමින් මාර්ග ආරක්ෂණ සංසඳ (Road Safety Club) පිහිටුවීමට අවශ්‍ය කෙරෙන අත්පොත් ගුරුවරුන්ට ලබාදීමට ද කටයුතු කර තිබෙනවා. විෂය බාහිර ක්‍රියාකාරකමක් ලෙස පාසල් පද්ධතියට එය ඇතුළත් කෙරෙනවා. ඊට සමගාමීව පදක්කම් ලබාදීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මකයි.

ඒ වගේම දුම්රිය වර්ජනයට අදාළ විසඳුම් ලබාදීමට අප මේ වන විට මැදිහත් වී සිටිනවා. වසර 05කට වරක් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ උසස්වීම් ලබාදීම සඳහා අවශ්‍ය අනුමැතිය මේ වන විටත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් ලබාදී තිබෙනවා. ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීම වෙනුවෙන් අවශ්‍ය කැබිනට් මණ්ඩල පත්‍රිකාව ද මේ වන විට සකස් කර අවසන් බව සඳහන් කළ යුතුයි.

නමුත් වර්තමානයේ ආරම්භ කර තිබෙන වැඩවර්ජන හුදෙක් දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් සිදු කෙරෙන්නක් බව මහජනාතවට ද පැහැදිලි වී තිබෙනවා. සැබැවින්ම එම වැඩවර්ජන සැබෑ වෘත්තීය අයිතිවාසියකම් වෙනුවෙන් සිදු කෙරෙන්නක් නොවන බව ද සඳහන් කළ යුතුයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *