Sat. Jun 28th, 2025

පාසල් අධ්‍යාපන කාලය තුළ වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරතවීමට ඉදිරියේ දී ඉඩ තබන්නේ නැහැ – ජනපති

Jun28,2024

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (27) පස්වරුවේ බලංගොඩ ශ්‍රී ධර්මානන්ද විද්‍යායතන පිරිවෙන වෙත පැමිණ ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති සහ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ රාස්සගල පර්ශ්වයේ මහානායක පූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මුර්ති මහා නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා

ශ්‍රී ලංකාව මේ වන විට අත්කරගෙන සිටින ආර්ථික සහ මූල්‍ය ප්‍රගතිය පිළිබඳව මහානායක හිමියන් දැනුවත් කරමින් උන්වහන්සේ සමඟ කෙටි පිළිසඳරක නිරත වු ජනාධිපතිවරයා විහාරස්ථානයේ සංවර්ධන කටයුතු පිළිබඳවද සොයා බලා තිබෙනවා.

සබරගමුව පළාත් ආණ්ඩුකාර කාර්යාලය මඟින් ශ්‍රී ධම්මානන්ද විද්‍යායතන පිරිවෙණේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ලබාදුන් රුපියල් මිලියනයක මුදලට අදාළ චෙක්පත මහ නායක හිමිපාණන් වහන්සේ වෙත පිළිගැන්වීම ද ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණා.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා

අද ලෝකය පුරා ථෙරවාද බුදු දහමට ඉහළ ඉල්ලුමක් තිබෙනවා. ථෙරවාද බුදුදහම අධ්‍යයනය කිරීම සඳහා අනුරාධපුරය කේන්ද්‍ර කර ගනිමින් මධ්‍යස්ථානයක් ඉදිකිරීමට අප සැලසුම් කර තිබෙනවා. ඒ අනුව ථෙරවාද බුදුදහම පිළිබඳ ඇල්මක් දක්වන දෙස් විදෙස් සියලුදෙනාට එම මධ්‍යස්ථානයට පැමිණ අධ්‍යයන කටයුතු සිදු කිරීමට අවස්ථාව ලැබෙනවා.

ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රදේශයේ බෞද්ධ ආගමික ඉගැන්වීම් පිළිබඳව අධ්‍යයන කරන ආයතනයක් පිහිටුවා තිබෙනවා. එමගින් මහායාන බුදුදහම පිළිබඳ වැඩිදුර අධ්‍යයනය කිරීමට අවස්ථාව ලබා දී තිබෙනවා. එවැනි බෞද්ධ අධ්‍යාපන කේන්ද්‍රයක් අපද ඇති කළ යුතුයි.

ඒ වගේම ස්වාමින් වහන්සේලාගේ විනය පිළිබඳ මතුව ඇති ගැටළු එම නිකායන් විසින්ම විසඳිය යුතුයි. ඒ සඳහා නිකායේ කාරක සංඝ සභාවට බලය තිබෙනවා. පැවිදි ගුරු වෘත්තියේ නිරතව සිටින ස්වාමීන් වහන්සේලාගේ විනය සම්බන්ධවත් අදාළ නිකාය විසින් තීන්දු තීරණ ගත හැකියි. කතෝලික සභාවෙන් පාලනය වන පාසල්වල පියතුමන්ලාට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරතවීමට අවස්ථාවක් නැහැ.

මේ දිනවල ක්‍රියාත්මක වන ගුරු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නිසා ගුරු වෘත්තියේ ගරුත්වය අහිමි වෙනවා. කදුළු ගෑස් වැදිලා, බැරියර් කඩාගෙන එන ගුරුවරයෙකුට දරුවන්ට ආදර්ශයක් විය නොහැකියි. පාසල් අධ්‍යාපන කාලය තුළ වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරතවීමට ඉදිරියේ දී ඉඩ තබන්නේ නැහැ. හදිසි නීතිය හෝ ක්‍රියාත්මක කරමින් දරුවන්ගේ අධ්‍යාපනය සුරක්ෂිත කිරීමට කටයුතු කරනවා.

අමාත්‍ය මනුෂ නානායක්කාර, සබරගමුව පළාත් ආණ්ඩුකාර අධිනීතිඥ නවීන් දිසානායක, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවල යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *