Fri. Jun 27th, 2025

කළු ගඟ ආශ්‍රිතව ගංවතුර අවදානමක් – කැළණි, ගිං සහ නිල්වලා ගංගාවල ජල මට්ටමත් ඉහළට

Aug19,2024

කළු ගඟේ මිල්ලනිය ප්‍රදේශයේ මහ ගංවතුර අවදානමක් පවතින අතර කැළණි, ගිං සහ නිල්වලා ගංගාවල ජල මට්ටම් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.

අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් සංඛ්‍යාව විසිහත් දහස ඉක්මවා ඇතිබවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ.

බස්නාහිර, සබරගමුව පළාත්වල සහ ගාල්ල මාතර දිස්ත්‍රික්කවල මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

පසුගිය දින කිහිපයේ ප්‍රදේශ රැසකට මිලිමීටර් සියය ඉක්මවූ තද වැසි ඇතිවුණා.

වැසි තත්ත්වයේ යම් අඩුවීමක් වාර්තා වුවද ඉදිරි දින කීපයේදීත් මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි ඇතිවන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ.

ගතවූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය කෑගල්ලෙන් වාර්තා වී ඇති අතර එය මිලමීටර් 148.5ක්.

අයහපත් කාලගුණය හේතුවෙන් පවුල් 8,779කට අයත් පුද්ගලයින් 27,858 දෙනෙකු ආපදාවට පත්ව සිටිනවා.

අධික වර්ෂාවත් සමග ගංගා ජල මට්ටම් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව කළු ගඟේ අතු ගංගාවක් වන කුඩා ගග පිටාර ගැලීමෙන් මිල්ලනිය ප්‍රදේශයේ මහ ගංවතුර අවදානමක් මතුව තිබෙනවා.

එමෙන්ම කලු ගග ආශ්‍රිත පහත් බිම් රැසක් ජලයෙන් යටව පවතිනවා. කලු ගගේ කුඩා ගග උප ද්‍රෝණිය සදහා නිකුත් කළ අනතුරු ඇගවීම් ඉදිරි පැය 24 සදහා ද දීර්ඝ කළ බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. එම ගංවතුර අවදානම සම්බන්ධයෙන් දැඩිලෙස විමසිලිමත් වන ලෙස දැනුවත් කෙරෙනවා.

කුකුලේ ගග ජලාශයේ වාන් දොරටුවක් විවෘත කිරීමත් සමග තත්පරයට ඝන මීටර් 53 ක ජල ධාරිතාවක් කුඩා ගගට මුදාහැරෙනවා. ඒ හේතුවෙන් බුලත්සිංහල මෝල්කාව ප්‍රධාන මාර්ගය ඇතුළු මාර්ග රැසක් ජලයෙන් යටව පවතිනවා.

පවතින ගංවතුර අවදානම හේතුවෙන් කළුතර පරගොඩ ප්‍රදේශය වෙත නාවික හමුදා ගංවතුර ආපදා සහන කණ්ඩායමක් යොමුකර තිබෙනවා. ගංවතුර තත්ත්වය හමුවේ පීඩාවට පත්ව ඇති ජනතාවට සහන සැලසීමට මෙන්ම ගංවතුරෙන් කොටුවී ඇති ජනතාව බේරා ගැනීමට සහන කණ්ඩායම් ක්‍රියා කරනවා.

ගිං ගගේ බද්දේගම සහ තවලම ප්‍රදේශවල ද ගංවතුර අවදානමක් මතුව ඇති අතර පහත් බිම් සහ මාර්ග ජලයෙන් යටවීමෙන් දෛනික ජන ජීවිතයට බාධා එල්ලවී තිබෙනවා.

අත්තනගලු ඔය ද ස්ථාන කීපයකින් පිටාර ගලා තිබෙනවා. අත්තනගලු ඔය සහ දී ඇල්ලේ ඔය ආසනව වේයන්ගොඩ, තිහාරිය, වාරණ යන ප්‍රදේශ ජලයෙන් යටව පවතිනවා. අත්තනගලු ඔයේ දූනමලේ ජල මාපාංකය සටහන් වූයේ 4.4ක් ලෙසයි.

මාදම්පේ සහ මහ වැව ප්‍රදේශයෙන් ගලා බසින හැමිල්ටන් ඇළ සහ කඩුපිටි ඔය පිටාර ගැලීමෙන් කොළඹ හලාවත ප්‍රධාන මාර්ගය ස්ථාන කීපයකින් ජලයෙන් යටවීම හේතුවෙන් ගමනා ගමනයට බාධා එල්ලවුණා.

මේ අතර ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කළේ ප්‍රදේශ කිහිපයකට නිකුත් කර ඇති නායයාම් අනතුරු ඇගවීම් තවදුරටත් බලාත්මක බවයි.

ඉදිරි දින කීපයේදීත් මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *