Mon. Jun 30th, 2025

ඇඟළුම් ක්ෂේත්‍රයේ කාන්තාවන්ට වෘත්තීමය ගෞරව නාමයක්

Aug9,2024

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගමනයට පුරෝගාමී දායකත්වයක් සපයන ඇඟලුම් ක්ෂේත්‍රයේ නිරත කාන්තාවන් උදෙසා “වියමන්වරිය” යන වෘත්තීමය ගෞරව නාමය ජනසතු කිරීම ඊයේ (08) සිදු කෙරුණා.

විශාඛා විද්‍යාලයීය වාණිජ සංගමය විසින් සංවිධානය කළ “විනිමය වියමන’24” වාණිජ දිනයට සමගාමීව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපති මහාචාර්ය ලක්ෂ්මන් ආර් වටවල හා කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ශාන්ත වීරසිංහ මහතුන්ගේ ප්‍රධානත්වයෙන් මෙය සිදු කෙරුණ අතර “වියමන්වරිය” යන වෘත්තීමය ගෞරව නාමය භාවිතාව පිළිබඳව සියළුම විද්ද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතන වෙත සන්නස් පිළිගැන්වීමද විශාඛා දියණියන් විසින් මෙහිදී සිදුකළා.

වීඩියෝ තාක්ෂණය ඔස්සේ “විනිමය වියමන’24” වාණිජ දිනය සමඟ එක්වෙමින් කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා, ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සුවිශේෂී දායකත්වයක් ලබාදෙන ඇඟලුම් ක්ෂේත්‍රයේ නිරත අපගේ කාන්තාවන් වෙනුවෙන් මෙවැනි වෘත්තීමය ගෞරව නාමයක් ලබාදීම පිළිබඳව කර්මාන්ත අමාත්‍යවරයා ලෙස තමා ඉතාමත් සතුටට පත්වෙන බවත් ඒ සඳහා මූලිකත්වය ගැනීම පිළිබඳව විශාඛා දියණියන්ට තම ස්තුතිය පුද කරන බවත් පැවසුවා.

මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ශාන්ත වීරසිංහ මහතා ප්‍රකාශ කළේ,

ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 5.3 ක් වැනි ඉහළම අපනයන ආදායමක් ලැබෙන්නේ ඇඟළුම් අංශයෙන් වන අතර ලංකාවේ කාන්තා ශ්‍රම බලකායෙන් වැඩිම පිරිසක් නිරත වී සිටින්නේ ඇඟලුම් ක්ෂේත්‍රයේ රැකියාවල බවත්, අපනයන කේන්ද්‍රීය ආර්ථිකයක් කරා යන ගමනේදී ඉහළම අපනයන ආදායම් ලබාදෙන ඇඟළුම් ක්ෂේත්‍රයේ නිරත කාන්තාවන් මෙලෙස දිරිමත් කිරීම ඉතාමත් කාලෝචිත බවයි.

එසේම මේ වන විට මෙම ක්ෂේත්‍රය සෘජු රැකියා අවස්ථා 350 000 ක් පමණ ලබාදී ඇති බවත්, තවත් වක්‍ර රැකියා ලක්ෂ 7 කට වඩා වැඩි ප්‍රමාණයක් බිහිකර දැවැන්ත රැකියා වෙළඳපළක් නිර්මාණය කර දීමට සමත් වී ඇති බවද ශාන්ත වීරසිංහ මහතා වැඩිදුරටත් පැවසුවා.

“විනිමය වියමන’24” වාණිජ දිනයට සමගාමීව පවත්වන ලද චිත්‍ර නිර්මාණ, රචනා, කථික, විවාද, සන්නාම නිර්මාණය වැනි තරග වලින් ජයග්‍රහණය කළ පාසල් දරු දැරියන්ට සහතික පත්‍ර ප්‍රදානය කිරීමද සිදු කෙරුණා.

මෙම අවස්ථාවට විශාඛා විද්‍යාලයේ විදුහල්පතිනිය මනෝමි සෙනෙවිරත්න මහත්මිය, අනුග්‍රාහක ආයතනවල ප්‍රධානීන්, ගුරු මහත්ම මහත්මීන්, පාසල් දරු දැරියන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වුණා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *