තමා ද්විත්ව පුරවැසිභාවය ලබා ඇති බවට කරන ප්‍රකාශ ඔප්පු කරන ලෙස එක්සත් ප්රජාතන්ත්රවාදී හඩ පක්ෂයේ අපේක්ෂක, හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ෂාන් සර්වජන බලය පක්ෂයේ නායක දිලිත් ජයවීරට අභියෝග කරනවා.
සිය පුරවැසිභාවය ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් දිලිත් ජයවීරට දොස් නැගූ තිලකරත්න ඩිල්ෂාන් කියාසිටියේ දිලිත් ජයවීරට තම ප්‍රකාශ ඔප්පු කිරීමට හැකි නම් මැතිවරණ ව්‍යාපාරයෙන් ඉවත් වීමට තමා සූදානම් බවයි.
එසේ කිරීමට අපොහොසත් වුවහොත් දිලිත් ජයවීර දේශපාලනයෙන් ඉවත් වන බවට පොරොන්දු විය යුතු බවද ඔහු පැවසුවා.
ජනමාධ්‍ය අමතමින් තිලකරත්න ඩිල්ෂාන් වැඩි දුරටත් ප්‍රශ්න කළේ දිලිත් ජයවීර මීට පෙර සිය දේශපාලන පක්ෂයට එක්වන ලෙස තමාට ආරාධනා කිරීමේදී පුරවැසිභාවය පිළිබඳව නොදැන සිටියාද යන්නයි.
“දිලිත් ජයවීර මට ආරාධනා කළා එතුමාගේ පක්ෂයට බැඳිලා කළුතර දිස්ත්‍රික්කයෙන් තරග කරන්න කියලා. හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මාර්ගයෙන් තමයි මේ ආරාධනය කළේ. තවමත් පරණ මඩ ගැසීමේ දේශපාලන සංස්කෘතිය අනුගමනය කිරීම කණගාටුවට කරුණක්” යැයිද ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළා.