ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණය පැවැත්විය යුතුව තිබෙන නමුත් එම අවස්ථාව මගහැර ජනමත විචාරණයක් මගින් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ධූර කාලය තවත් වසර පහකින් දීර්ඝ කර ගැනීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තුළ සාකච්ඡා වී ඇතැයි විශ්වසනීය දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
විශේෂයෙන් ම ජූනි දෙවන සතිය වන විට ජනාධිපති අපේක්ෂකයා කවුරුන් ද යන්න එම පාර්ශවයෙන් හෝ එක්සත් ජාතික පක්ෂය පාර්ශ්වයෙන් ඉදිරිපත් කළ යුතුව තිබියදී මේ වන තුරුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජනාධිපති අපේක්ෂකයෙකු තෝරා ගැනීමට නොහැකි තරමේ අර්බුදයක් පැනනැගී ඇති බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
ඒ අනුව මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ යන දෙදෙනාට පොහොට්ටුවේ අපේක්ෂකයා කවුරුන් ද යන්න පිළිබඳව මතුව ඇති අර්බුදය තුළ තවදුරටත් රනිල් වික්‍රමසිංහ ජනපති ලෙස තබාගෙන යාම ඔවුන්ට පැති කිහිපයකින් ම විසඳුමක් බව ද ආණ්ඩුවේ බහුතර මතය වී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෝ මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපතිවරණය මේ වසරේ පවත්වන බවට නිල වශයෙන් නිවේදනයක් නිකුත්කර නොතිබීම ද මීට හොඳ ම උදාහරණය බව දේශපාලන විශ්ලේෂකයෝ පවසති.
1977 පාර්ලිමේන්තුවේ 5/6 ක බලයක් හිමිකර ගත් ජේ.ආර්. ජයවර්ධන මහතා 1982 ජනමත විචාරණයකින් පාර්ලිමේන්තුවේ කාලය වසර 5කින් දීර්ඝ කර කළගෙඩි ලාම්පු සෙල්ලම හරහා එම පාර්ලිමේන්තුව වසර දහය දක්වා දීර්ඝ කර ගත්තේ ය.
විශේෂයෙන් ම ජනාධිපතිගේ කාලය දිගු කර ගැනීමට ජනමත විචාරණයකට යෑම සඳහා පාර්ලිමේන්තුවේ 2/3 බලය අවශ්‍ය අතර මේ වන විට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා යටතේ පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් පනත් රාශියක් සම්මත කර ගැනීම තුළද ජනමත විචාරණයකට යෑමේ යම් වාසියක් රනිල් වික්‍රමසිංහ මහතාට ඇති බව ද ඔවුහු පෙන්වා දෙති.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නොවැම්බර් 17 වන විට ජනපතිගේ ධූර කාලය අවසන් වන හෙයින් නිශ්චිත ලෙස ම නව ජනාධිපතිවරයකු දිවුරුම් දිය යුතු වන අතර එවැනි ව්‍යවස්ථාමය තත්ත්වයක් යටතේ ජනමත විචාරණයක ඇති වලංගුභාවය පිළිබඳව නීති අංශවලද මේ වන විට දැඩි කතාබහක් ඇති වී තිබේ.
– මව්බිම –