Sat. Jun 28th, 2025

හොරෙන් ප්‍රංශයට පලා යන්න හැදූ තරුණයාට වුණ දේ

Sep3,2024

කටුනායක ගුවන් තොටුපොළ ව්‍යාපාරික පංතියේ පහසුකම් භාවිතා කර ප්‍රංශය වෙත පළා යාමට තැත් කළ ද්‍රවිඩ ජාතික තරුණයෙකු (02) දින රාත්‍රී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු යාපනය , උඩුවිල් ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි ද්‍රවිඩ ජාතික තරුණයෙක්.

ඔහු (02) දින රාත්‍රී 06.50 ට දෝහා වෙත පිටත්ව යාමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 217 දරන ගුවන් යානයට පිවිසීම සඳහා ඇමෙරිකානු ඩොලර් 60 ක මුදලක් වැය කර , කටුනායක ගුවන් තොටුපොළ ” සේද මාවත ” (Silk Route ) ව්‍යාපාරික පංතියේ පහසුකම් සහිත විශේෂ පර්යන්තය වෙත පිවිසී තිබෙන බවයි රේගු නිලධාරීන් පවසන්නේ.

ඒ අනුව මෙම ද්‍රවිඩ ජාතික තරුණයා වෙත පැමිණි ආගමන විගමන නිලධාරීන් ඔහුගේ ගමන් බලපත්‍රය පරීක්ෂා කිරීමේදී ඇති වූ සැකය මත , ඔහු එම පර්යන්තයෙන් දේශසීමා ඒකකය වෙත කැඳවා ගෙන ගොස් , එහි සේවයේ නිරත නිලධාරීන් වෙත භාර දී තිබුණා.

එහිදී එම නිලධාරීන් විසින් සිදු කළ තාක්ෂණික පරීක්ෂා කිරීම් වලදී මෙම ශ්‍රී ලංකා ගමන් බලපත්‍රය , වෙනත් පුද්ගලයෙකුගේ ජීව දත්ත තොරතුරු සහිත ගමන් බලපත්‍රයකට , මෙම තරුණයාගේ ජායාරූපය ඇතුළත් කර කූඨ ලෙස සකස් කළ එකක් බවට කරුණු අනාවරණය වීමත් සමඟ මොහු අත්අඩංගුවට ගැනීමට පියවර ගත් බවයි ආගමන විගමන නිලධාරීන් සඳහන් කළේ.

ඉන්පසුව මොහුගේ ගමන් මලු පරීක්ෂා කිරීමේදී ඒවා තුළ තවත් කූඨ ලෙස සකස් කළ ඉතාලි ගමන් බලපත්‍රයක් සහ ව්‍යාජ තොරතුරු ඇතුළත් කර සකස් කළ ප්‍රංශයේ නේවාසික වීසා බලපත්‍රයක් ද එම නිලධාරීන් විසින් සොයා ගනු ලැබුවා.

එසේම මොහුගේ ගමන් මලු තුළ වූ ඉතාලි ගමන් බලපත්‍රය තුළ මාළදිවයින , ඉතාලිය සහ ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තු ව්‍යාජ මුද්‍රා රාශියක් යොදා ඇති බවයි අනාවරණය වන්නේ.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දීමට පියවර ගත් අතර ඔවුන් මොහු (03) දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *