එස් එෆ් ලොක්කා නැමැති අපරාධ කල්ලි නායකයා ඝාතනය කිරීම සඳහා සහකාර පොලිස් නිලධාරියෙකු ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනෙකු අනුරාධපුරයේ ව්‍යාපාරිකයන් පිරිසකගෙන් කෝටි 13ක මුදලක් ලබා ගෙන ඇති බව විමර්ශනවලින් අනාවරණය වී ඇති බව ලංකාදීප පුවත්පත වාර්තා කරනවා.
යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂවරයා විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ මගින් උපයා ගත් වත්කම් විමර්ශන ඒකකය විසින් සිදු කළ විමර්ශනවලින් මේ බව අනාවරණය වී තිබෙනවා.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්නගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් ලබා ගත් තොරතුරු මත මෙම අනාවරණය සිදු වී ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.
චෝදනා ලැබ සිටින සහකාර පොලිස් අධිකාරීවරයා තමන් සමඟ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණ බවත් ඔහුගේ කාර්යාලයේදී එස් එෆ් ලොක්කා ඝාතනයට සැලසුම් සකස් කළ බවත් එක්තරා දේශපාලඥයෙකුට අයත් ඉඩමකදී ටී 56 අවියක් ලබා දී වෙඩි තැබීමට පුහුණු කළ බවත් සැකකරුවා ප්‍රකාශ කර තිබෙනවා.
පසුව 2020 අගෝස්තු මාසයේ දිනෙක අදාළ දේශපාලඥයාගේ මෝටර් රථයෙන්ම ගොස් දහයියාගම හන්දිය අසල දුම්රිය හරස් මාර්ගයේදී එස් එෆ් ලොක්කා ඝාතනය කළ බවත් සැකකරුවා අනාවරණය කර තිබෙනවා.
සංවිධානාත්මක අපරාධ මගින් උපයා ගත් වත්කම් විමර්ශන ඒකකය විසින් මෙම තොරතුරු අනුරාධපුර මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කර ඇති බව ද වාර්තා වෙනවා.