Wed. Apr 30th, 2025

බිරිඳගේ පාස්පෝට් එකනේ තවත් ගැහැණියක් ඉතාලි පටවන්න හදලා

Nov8,2024 #immigration #italy #passport

තම බිරිඳගේ ගමන් ලියකියවිලි සමඟ නාඳුනන කාන්තාවක් ඉතාලියට ප්‍රවාහනය කිරීමට උත්සාහ කළ පුද්ගලයකු ගුවන් තොටුපොළේ දී ආගමන හා විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් නතර කර තිබෙනවා.

බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළේ පිටත්වීමේ පර්යන්තයේ ස්ථානගත කර ඇති ආගමන නිලධාරීන් බදාදා රාත්‍රියේ අහඹු සෝදිසි කිරීමක් සිදුකර ඇති අතර එහිදී සැකපිට යුවළක් ප්‍රශ්න කිරීම සඳහා රැගෙන ගොස් තිබුණා.

කොළඹ සිට කටාර් ගුවන් සේවයට අයත් QR 655 දරන ගුවන් යානයෙන් මෙම යුවළ දෝහා හරහා ඉතාලියේ මල්පෙන්සා බලා පිටත්ව යෑමට පැමිණ තිබෙනවා.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා නිරීක්ෂණ ඒකකයේ (BSU) නිලධාරීන් විසින් ලියකියවිලි පිරික්සා බැලීමේදී එම කාන්තාව සතුව විදේශ ගමන් බලපත්‍රයක් සහ ඉතාලි ස්ථිර පදිංචි වීසා කාඩ්පතක් ඇතුළු වෙනත් අයෙකුගේ ගමන් ලියකියවිලි ඇති බව සොයා ගත්තා.

ඇයගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඇය පවසා ඇත්තේ තමන් සමඟ පැමිණි පුද්ගලයා තමාව ඉතාලියට රැගෙන යෑමට පොරොන්දු වී ඇති බව හා ඒ සඳහා කුරුණෑගල ප්‍රදේශයේ සංචාරක නියෝජිතයකුට රුපියල් ලක්ෂ 36ක් ගෙවා ඇති බවයි.

නිලධාරීන් 40 හැවිරිදි පිරිමි පුද්ගලයාගෙන් ප්‍රශ්න කළ විට හෙළිව ඇත්තේ ඔහු ඉතාලියේ ස්ථිර පදිංචිකරුවෙකු බව සහ බිරිඳගේ ගමන් ලියකියවිලි යටතේ කාන්තාව ප්‍රවාහනය කිරීම සඳහා නියෝජිතයෙකුගෙන් මුදල් ගාස්තුවක් ලබාගෙන ඇති බවයි.

මූලික විමර්ශනවලදී හෙළිව ඇත්තේ මෙම පිරිමි පුද්ගලයා පසුගියදා නිවාඩුවක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර ඔහු සිය බිරිඳගේ ගමන් ලියකියවිලි රැගෙන මිනිස් ජාවාරමට පහසුකම් සැලසීම සඳහා රුපියල් ලක්ෂ 20ක ගාස්තුවක් අයකර ඇති බවයි.

කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි කාන්තාව සහ මෙම පිරිමි පුද්ගලයා වැඩිදුර විමර්ශන සඳහා ගුවන් තොටුපොළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකය වෙත භාර දුන්නා.

ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *