රුපියල් ලක්ෂ 10ක පමණ මුදලක් සහ ලක්ෂ හතර හමාරක රන් භාණ්ඩ සොරකම් කළ බවට කරන්දෙණිය පොලිස් වසමේ එගොඩවෙල ප්රදේශයේ පුද්ගලයකු කරන්දෙනිය පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබුණා.
නැති වූ රන් භාණ්ඩ නිවසේ තිබූ අල්මාරියක තිබී ඇති අතර, මෙම නිවසේ ඇති කරන ගිරවෙකු පුරුද්දක් ලෙස එම කාමරයේ දොර රෙද්දේ රැඳී සිටින බවට පැමිණිලිකරු විසින් දන්වා තිබෙනවා.
එමෙන්ම බාහිර කිසිවෙකුටත් එම කාමරයට ඇතුල්වීමට නොහැකි බවත්, කිසිවෙක් ඒ කාමරයට ඇතුළු වුවහොත් එම ගිරවා කෑ ගසන බවත්, ගෙහිමියන් පොලිසියට පවසා තිබෙනවා. නමුත් සැකසහිත කිසිවෙක් එලෙස කාමරයට ඇතුළු නොවුණ බව ද ඔවුන් පොලිසිය හමුවේ පවසා තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනය සිදුකළ අතර, පොලිස් නිල සුනඛයෙකු යොදා පරීක්ෂා කිරීමේ දී නිල සුනඛයා නිවසේ හිමිකාරිනියව දෙසැරයක්ම ඉව කර තිබුණා.
පොලිසිය විසින් ඇයගෙන් විමසීම් කළ ද, එයට නිසි ආකාරයෙන් පිළිතුරු නොදුන් නිසා සැක සිතී තවදුරටත් ප්රශ්න කිරීමේ දී ඇය විසින් මෙම මුදල් සොරකම් කළ බවත් රන් භාණ්ඩ බැංකුවකට උකස් කළ බවත් පවසා තිබෙනවා.
නැති වූ මුදල් පාර්සලය නිවසේ නාන කාමරය අසල තිබී හමු වී තිබෙනවා.
මෙම තැනැත්තිය විසින් පොලිස් සුනඛයාගේ අවධානය වෙනතක යොමු කිරීම සඳහා මිරිස් කුඩු අල්මාරිය ලාච්චුවේ තැනින් තැන විසුරුවා ඇති අතර, එම මිරිස් කුඩු නිවසේ ඇති මිරිස් කුඩුවලට සමාන බව පොලිස් පරීක්ෂණවල දී අනාවරණය වී තිබෙනවා.
සිය සැමියාගේ මුදල් සොරකම් කිරීම සඳහා ඇය මෙසේ කළ බව පොලිසිය හමුවේ පවසා ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකාරිය අද දින ඇල්පිටිය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.