Sat. Jun 28th, 2025

ගමම තැති ගනී! කසිප්පු විශ වී තිදෙනෙක් මරුට – 4ක් රෝහලේ

Apr29,2024

කළුතර – වරකාගොඩ, පහළ කරන්නාගොඩ ප්‍රදේශයේ පුද්ගලයින් තිදෙනකු හදිසියේ ජීවිතක්ෂයට පත්වී ඇති බව පොලීසිය පවසයි.

ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ මෙම පිරිස නීතිවිරෝධී මත්පැන් පානය කර ඇති බවත් ඉන් පසුව රෝගාතුරවී එලෙස මියගොස් ඇති බවත් ය.

එලෙස මියගොස් ඇත්තේ කරන්නාගොඩ හා ඒ අවට පදිංචිවය සිටි වයස අවුරුදු 68ත් 43ත් අතර පසුවන්නන් බව වාර්තා විය.

මෙම තිදෙනාම පෙරේදා (27) රාත්‍රියේ නිතිවිරෝධී මත්පැන් පානය කර ඇති බවට ඔවුන්ගේ ඥාතීන් පවසයි.

ඉන් එක් පුද්ගලයෙක් ඊයේ උදෑසන නිවසේදීම මියගොස් ඇති අතර තවත් අයෙක් රෝගාතුරු වීමත් සමග පෞද්ගලික ස්ථානයකින් ඖෂධ ලබාගෙන තිබුණි. නමුත් ඔහු නැවතත් රෝගී වීම හේතුවෙන් රෝහල වෙත රැගෙන යමින් සිටියදී මියගොස් තිබේ.

අනෙක් පුද්ගලයා හොරණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව වාර්තා වේ.

මොවුන් තිදෙනාටම ඇස් නොපෙනී යාම, වමනය වැනි රෝග ලක්ෂණ තිබූ බව නිවැසියන් පවසයි.

මීට අමතරව එම ප්‍රදේශයේම තවත් සිව්දෙනකු කළුබෝවිල, හොරණ සහ ජයවර්ධනපුර යන රෝහල්වල ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් වරකාගොඩ පොලීසිය වීශේෂ පරීක්ෂණ ආරම්භ කර තිබේ.

එමෙන්ම එම ප්‍රදේශයේ නීතිවිරෝධි මත්පැන් විකුණන බවට ගම්වාසීන්ගේ තොරතුරු මත පුද්ගලයෙකුව පොලීසිය විසින් අත්අඩංගුව ගෙන ඇති අතර ඔහු තොටුපොල පාර, වරකාගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

කෙසේ වෙතත් පොලීසිය පැවසුවේ මෙම මරණ සම්බන්ධයෙන් සැකකරුගේ යම්කිසි සම්බන්ධතාවයක් තිබේද යන්න ගැන නිශ්චිතවම කිව නොහැකි බවත් ඒ සම්බන්ධයෙන්ද විමර්ශනයක් සිදුකරන බවත්ය.

සැකකරු අද (29) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පැවසීය.

මියගිය තිදෙනාගෙන් දෙදෙනෙකු හෘදයාබාධ ඇතිවී මියගොස් ඇති බවටත් අනිත් පුද්ගලයාගේ මරණය විවෘත තීන්දුවක් ලෙසත් හොරණ අධිකරණ වෛද්‍යවරයා විසින් නිකුත් කළ වාර්තාවේ දැක්වෙන බව පොලීසිය වැඩිදුරටත් පවසයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *