Sun. Jun 29th, 2025

කටාර් රැකියා සිහින පෙන්වා මුදල් වංචාකළ කත කොටුවෙයි

Jul24,2024

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව කටාර් රාජ්‍යයේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ කාන්තාවක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ජාඇල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් විසින් කටාර් රාජ්‍යයේ රැකියා ලබාදීම සඳහා එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ 10 බැගින් පුද්ගලයින් තිදෙනෙකුගෙන් රුපියල් ලක්ෂ 30ක මුදලක් ලබාගෙන විදෙස්ගත කර තිබුණත් එරටදී පොරොන්දු වූ පරිදි රැකියා හිමිනොවීම හේතුවෙන්, යළි දිවයිනට පැමිණ කාර්යාංශය වෙත පැමිණිලි කර තිබුණා.

ඒ අනුව ක්‍රියාත්මක වූ විමර්ශන නිළධාරීන් විසින් අදාල කාන්තාව ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා අද කාර්යාංශය වෙත කැඳවූ අතර, ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව එම කාන්තාව විමර්ශන නිළධාරීන් විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකාරිය, කාර්යාංශයේ වලංගු අනුමැතියක් නොමැතිව විදේශ රැකියා සඳහා තැනැත්තන් යොමුකිරීමට මුදල් අයකිරීම හා වංචා කිරීම යන චෝදනාව යටතේ අද දින වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

විදේශ රැකියාවක් ලබාගැනීම සඳහා යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර එම ආයතනයට විදේශ රැකියා සඳහා බදවාගැනීමට කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් තිබේද යන්න හා වලංගු රැකියා නියෝජිතායතනයක් වුවද එම ආයතනයට අදාළ රැකියා ඇණවුම ලැබී ඇත්දැයි යන්න සොයා බැලීම සඳහා කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 1989 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීම මගින් තොරතුරු ලබාගන්නා ලෙස කාර්යාංශය විදේශ රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටිනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *