Sat. Jun 28th, 2025

පක්ෂය දිලිත්ට වික්කා : කොමියුනිස්ට් පක්ෂයේ ගුටි බැට හුවමාරු වෙයි!

Dec23,2024 #news #slpolitics

ශ්‍රී ලංකාවේ දේශපාලන පරිවර්තන ගණනාවකට දායකත්වය දුන්, විශිෂ්ට වාමාංශික නායකයන් ගණනාවක් බිහි කළ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය පසුගිය ජනපතිවරණයේදී සිය පක්ෂය මාක්ස්වාදයේ ප්‍රබල විවේචකයෙකු වූ ව්‍යාපාරික දිලිත් ජයවීර වෙත සහය පමණක් නොව ලියාපදිංචිය සඳහා සිය පක්ෂය ද ලබා දීම දේශපාලන ක්ෂේත්‍රයේ මහත් කතා බහට ලක් වුණු සිදුවීමක් වුණා.

මෙම තීන්දුවෙන් පසුව පැවැත්වුණු මහමැතිවරණයේදී කොමියුනිස්ට් පක්ෂයට හිමිව තිබූ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු ආසනයද අහිමි වී ගිය අතර පසුගිය කාලයේ ගන්නා ලද දේශපාලන තීන්දු හේතුවෙන් පක්ෂයට මේ වන විට අත්වී ඇති ඉරණම නිසා එහි බරපතළ ගැටුම් ඇති වී ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරනවා.

මේ වන විට එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ධුරය දරන්නේ විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහයි. ඔහු 2020 මහමැතිවරණයේදී වීරසිංහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවට ඇතුළු කරනු ලැබුවේ පාර්ලිමේන්තු ආසනයක් ලබා දෙන බවට පොරොන්දු වී වුවත් එය ලබා නොදී ගෝඨාභය ආණ්ඩුව කොමියුනිස්ට් පක්ෂය රවටා දැමුවා.

මෙහිදී ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය නොලැබුණු වීරසිංහ සැනසීම පිණිස ඔහුට පක්ෂ ප්‍රධාන ලේකම් ධුරය පරිත්‍යාග කිරීමට ඩිව් ගුණසේකරට සිදු වුණා. වීරසිංහ ලේකම් ධුරය ලබාගත් පසු වඩා කිට්ටු වූයේ මෙරට මේ වන විට ප්‍රතික්ෂේපිතව සිටින ජරාජීර්ණ ජාතිවාදී ගොනුවකටයි. ගෝඨාභය රජය අර්බුදයට යද්දී ඉන් ඉවතට පිනූ විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව, ගෙවිඳු වැනි පිරිසකට නව සන්ධානයකට කියා කොමියුනිස්ට් පක්ෂය තිඹිරිගෙය සපයනු ලැබුවා. උත්තර ලංකා සභාගය ලෙසින් නම් කර මෙය ඉදිරියට යද්දී කොමියුනිස්ට් පක්ෂයේ ඉතිරිව ඇති වාම කණ්ඩායම මෙවැනි ජාතිවාදීන් සමඟ වන සන්ධානය විවේචනය කරනු ලැබුවා.

විවිධ පාර්ශ්වීය බල ව්‍යාපෘති නිසා උත්තර ලංකා සභාගය ඉක්මනින් බිඳ වැටුණු අතර අතිශය හිතුවක්කාරී ලෙස වීරසිංහ තම පාර්ලිමේන්තු සිහිනය වෙනුවෙන් පක්ෂය, ප්‍රසිද්ධියේ මාක්ස්වාදය විවේචනය කරන ව්‍යාපාරික දිලිත් වෙත ගැට ගසනු ලැබුවා. එය මෙරට වාමාංශික ව්‍යාපාරයේ සිදු වූ නිර්ලජ්ජිතම සිදුවීමක් බව බොහෝ දෙනා හැඳින් වූ අතර කොමියුනිස්ට් පක්ෂයට ඉතුරුව තිබූ අන්තිම විලිලැජ්ජාව එයින් අවසන් වූ බව බොහෝ දෙනා කියා සිටියා. ආරංචිමාර්ග අනුව මේ බොහෝ තීරණ පක්ෂයේ ප්‍රබල නමුත් දැනට වයෝවෘද්ධව සිටින අගා ජයසේන වැනි මධ්‍යම කාරක සභිකයන්ගේ දැඩි විවේචනයට ලක්ව තිබුණා.

කෙසේ වෙතත්, පාර්ලිමේන්තු ආසන සිහිනය වෙනුවෙන් අන්ත දක්ෂිණාංශික ව්‍යාපාරිකයෙකුට කොමියුනිස්ට් පක්ෂය ගැට ගැසුවද අවසානයේදී එයට මෙතෙක් කලක් තිබූ මාතර පාර්ලිමේන්තු ආසනයද අහිමි වී ගියා. කොමියුනිස්ට් පක්ෂයේ ඉතිරිව තිබූ ඡන්ද ටිකටද ඇනගෙන දිලිත් පාර්ලිමේන්තුගත වූ අතර දැන් කොමියුනිස්ට් පක්ෂයේ බරපතළ ගැටුම් ඇති වී තිබෙනවා.

පසුගිය දෙසැම්බර් 14 වැනි දා මැතිවරණ ප්‍රතිඵල සම්බන්ධයෙන් වූ සාකච්ඡාවකදී මෙම කරුණු පවසමින් බොහෝ සාමාජිකයන් පක්ෂ නායකත්වය දැඩිව විවේචනය කර තිබෙනවා. එහිදී කිපුණු වෛද්‍ය වීරසිංහ, පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සහ ප්‍රබල නමුත් දැන් වයෝවෘද්ධව සිටින නායකයෙකු වන හේමා විල්බට් වෙත වතුර බෝතලයකින් දමා ගැසීමට තරම් නිහීන තත්වයකට පත්ව තිබුණා. හේමා විල්බට් යනු එවක 83 වැඩවර්ජනයට නායකත්වය දුන් ප්‍රබල නමුත් නිහතමානී නායකයෙක් වනවා.

වෛද්‍ය වීරසිංහ කුපිතව ඇත්තේ, පාර්ලිමේන්තු සිහිනය නිසා පක්ෂයේ නමත්, ලාංඡනයත්, මුදල් හා සම්පත් පමණක් නොව පක්ෂයේ සියලු කීර්තියත් විනාශ කළා යැයි කියමින් නැගුණ චෝදනාව නිසා බව පැවසෙනවා.

ඊනියා පාර්ලිමේන්තු සිහිනයක් වෙනුවෙන් කොමියුනිස්ට් පක්ෂයේ අන්තිම කීර්තිය බිඳුව පවා විකුණා දමමින් පක්ෂය වෙනුවෙන් ජීවිතයම කැප කළ වයෝවෘද්ධ නායකයන්ට ශාරීරිකව පවා පහර දෙමින් මේ ගෙන යන ක්‍රියාමාර්ග නිසා පක්ෂය ගිනි කෙළියක් වී ඇති බව සාමාජිකයෝ පවසනවා. කෙසේ වෙතත්, මුදල් නැති බව කියමින් පක්ෂ සම්මේලනයද වසරකින් කල් දැමීමට වෛද්‍ය වීරසිංහ ක්‍රියාකරගෙන යන අතර මේ හරහා ඔහුට සට්ටැඹිකම් කිරීමට ගෙන්වාගෙන ඇති ජාතිවාදී පුද්ගලයන් ගණනාවක් මධ්‍යම කමිටුවට පත් කරගෙන සිය ලේකම් ධුරය ඉදිරියට ගෙන යෑමට වලිකන බවයි චෝදනා නැගෙන්නේ.

කෙසේ වෙතත්, කලෙක මෙරට දැවැන්ත දේශපාලන ව්‍යාපාරයක් වාමාංශික ව්‍යාපාරයේ ලකුණක් වූ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය අද පත්ව ඇති ඉරණම ගැන වම් ඉවුරේ බොහෝ දෙනා කතා කරන්නෙ දැඩි වේදනාවකින් බව සඳහන් වෙනවා. මේ තත්වයන් වෙනස් කර පසුගිය කාලයේ පක්ෂය ගත් අදේශපාලනික තීන්දු ගැන ස්වයංවිවේචනයක් කරගනිමින් බිංදුවේ සිට නැවත දේශපාලනයට යොමු විය යුතු බව මධ්‍යස්ථ විචාරකයන් පවසනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *