Fri. Jun 27th, 2025

ක්ලබ් වසන්ත ඝාතනයේ සිද්ධියේ නවතම තත්ත්වය

අතුරුගිරිය ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 05 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ අතුරුගිරිය පොලීසිය විසින් අදාළ ප්‍රකාශ සටහන් කරගැනීම සිදුකර ඇති බවයි.

වෙඩි තැබීම සිදුවූ අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු ඇතුළු පුද්ගලයින් 05 දෙනෙකුගෙන් මෙලෙස ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව සඳහන්.

අතුරුගිරිය ප්‍රදේශයේ ඊයේ (08) උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් “ක්ලබ් වසන්ත” ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

එම වෙඩි තැබීමේ සිද්ධියෙන් ගායන ශිල්පි කේ. සුජීවා ඇතුළු තවත් සිව්දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකරනු ලැබීය.
පාදයකට වෙඩි වැදී බරපතළ තුවාල ලැබූ කේ.සුජීවා කොළඹ ජාතික රෝහලේ දී ශල්‍යකර්මයකට භාජනය කර ඇති අතර ඇය මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

ඝාතනයට ලක්වූ ක්ලබ් වසන්ත නැමැත්තාගේ බිරිඳ හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර ඇය වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට මාරුකර යවා ති‌බෙනවා.

මේ අතර අදාළ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පළාගිය වෑන් රථය බුලත්සිංහල ප්‍රදේශයේ තිබී පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.

බුලත්සිංහල දෙල්මැල්ල ප්‍රදේශයේ පාළු ඉඩමක තිබී අදාළ වෑන් රථය සොයාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ.

අදාළ වෙඩි තැබිම සඳහා සැකකරුවන් පැමිණි මෝටර් රථය ද කඩුවෙල ප්‍රදේශයේ දී සොයාගනු ලැබීය.

මෙම වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *