Tue. Jun 24th, 2025

දිවයින පුරා තැපැල් වර්ජනය අද මධ්‍යම රාත්‍රිිය දක්වා ක්‍රියාත්මකයි

Jun13,2024

අසනීප නිවාඩු වාර්තා කරමින් ඒකාබද්ධ තැපැල් සේවක වෘත්තීය සමිති එකමුතුව ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.

ඒකාබද්ධ තැපැල් සේවක වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේ, අද මධ්‍යම රාත්‍රිිය දක්වා දිවයින පුරා මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවය.

තැපැල් දෙපාර්තමේන්තුවේ පවතින සේවක හිඟයට කඩිනමින් විසඳුම් ලබාදෙන ලෙස බලධාරීන් දැනුවත් කිරීම මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයේ අරමුණ බව චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේය.

කෙසේවෙතත් තැපැල්පති රුවන් සත්කුමාර මහතා සඳහන් කළේ, වහාම ක්‍රියාත්මක වන පරිදි සියලු තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කිරීමට තීරණය කර ඇති බවය.

අදාළ ගැටලුව සම්බන්ධයෙන් විසඳුම් ලබාදීමට මේ වන විටත් තැපැල් දෙපාර්තමේන්තුව පියවර ගනිමින් සිටින අතර එවන් අවස්ථාවක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීම පිළිගත නොහැකි බව තැපැල්පතිවරයා පවසයි.

කෙසේවෙතත් තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකි සෑම පියවරක්ම ගන්නා බව තැපැල්පති රුවන් සත්කුමාර මහතා සඳහන් කළේය.

මේ අතර සිය ගැටලුවලට විසඳුම් ලබාදීමට බලධාරීන් පියවර නොගතහොත් වැඩවර්ජනයක නිරත වන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේ, සිය වෘත්තිය ගැටලු විසඳීමට බලධාරින්ට අවස්ථා ගණනාවකදී දැනුම්දුන්න ද මෙතෙක් ඊට යහපත් ප්‍රතිචාර ලැබී නොමැති බවය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *