නීතිඥ වෘත්තීයේ නිරත වීම තහනම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබියදී එම නියෝගය උල්ලංඝනය කරමින් අදාළ වෘත්තීයේ නිරත වීම නිසා අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා එල්ල වී සිටින කැකිරාව ප්‍රදේශයේ පදිංචි නීතිඥවරියකට අධිකරණයේ අවසරයකින් තොරව විදේශගත වීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (26) නියෝගයක් නිකුත් කර තිබුණා.
එස්. තුරෙයි රාජා, කුමුදුනී වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ එම පැමිණිල්ල කැඳවන ලද අවස්ථාවේදී වගඋත්තරකාර නීතිඥවරිය අධිකරණය ඉදිරියේ පෙනී සිටි අතර නීතිපතිවරයා විසින් කෙටුම්පත් කර තිබූ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට අදාළ චෝදනා පත්‍ර ඇයට විවෘත අධිකරණයේ කියවා භාරදුන්නා.
තමන් අදාළ චෝදනාවලට නිවැරදිකාරිය බවත් කැකිරාව නීතිඥ මණ්ඩලයේ නිලධාරියෙක් තමන් හා අමනාපයෙන් පසුවන බවත් තමන්ගෙන් පළිගැනීම සඳහා මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙන බවත් එම අවස්ථාවේදී අදාළ නීතිඥවරිය අධිකරණය හමුවේ පැවසුවා.
ඒ අනුව අදාළ චෝදනා පත්‍රය සැප්තැම්බර් මස 24 වන දා විභාගයට ගැනීමට නියෝග කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල වගඋත්තරකාර නීතිඥවරියට අධිකරණයේ අවසරයකින් තොරව විදේශගත වීම තහනම් කරමින් නියෝගයක්ද නිකුත් කළා.
සාමාන්‍යයෙන් මෙවැනි චෝදනා එල්ල වී ඇති අවස්ථාවක වගඋත්තරකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කළත් මෙම වගඋත්තරකාර නීතිඥවරිය පිළිකා රෝගයෙන් පෙළන බවට කරුණු ඉදිරිපත් වීම හේතුවෙන් එම කරුණ සැලකිල්ලට ගෙන ඇය මුදාහරින බව විනිසුරු මඩුල්ල සඳහන් කළා.