Sat. Jun 28th, 2025

තොන්ඩමන්ගේ තර්ජනය නිසා නැවතුනු තේ වෙන්දේසිය

Jun1,2024

ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පසුගිය දා වතු සමාගමක ප්‍රධාන විධායක නිලධාරියෙකු නිවාස අඩස්සියට ගෙන සිදුකළ පීඩාව සහ සිය නිෂ්පාදන කොළඹ තේ වෙන්දේසියට ගෙන යාමට ඉඩ නොදෙන බවට කළ තර්ජන හේතුවෙන් මෙම සතියේ පැවැත්වෙන කොළඹ තේ වෙන්දේසිය වර්ජනය කිරීම පිළිබඳව අවධානය යොමුව ඇති බව ක්ෂේත්‍රයේ ආරංචි මාර්ග ප්‍රකාශ කළේ ය.

මේ වන විට ඔවුන් සිය සමාජ මාධ්‍ය ජාල හරහා මේ පිළිබඳව සාකච්ඡා කරමින් සිටින අතර ලබන අඟහරුවාදා සහ බදාදා පැවැත්වෙන තේ වෙන්දේසියට තේ ඉදිරිපත් නොකිරීමට සහ දේශපාලන අධිකාරියෙන් සිය ජීවිත ආරක්ෂාව ලබාදෙන තුරු ආපසු වතු වෙත නොයාම පිළිබඳව යෝජනා කර ඇති බවත් වාර්තා වේ.

පසුගිය බ්‍රහස්පතින්දා නුවරඑළිය පීඩෲ වතු යායට කඩා වැදුණු අමාත්‍ය ජීවන් තොණ්ඩමන් ඇතුළු පිරිසක් කැලණිවැලි වැවිලි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි අනුර වීරකෝන් කාර්යාල අඩස්සියේ තබා පැය ගණනක් මුළුල්ලේ තර්ජනය කරමින් විරෝධය පළ කිරීම සහ මෙම අමාත්‍යවරයා මීට පෙරද අවස්ථා කිහිපයකදී ම වතු සමාගම්වලට අයත් වතුවලට කඩා වැදී නීතිය සියතට ගෙන ක්‍රියා කිරීමට උත්සහ කිරීමත් සමග වතු සමාගම් පාලකයන්ගේ ජීවිත ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ල වී ඇති බව කතා බහට ලක්ව ඇත.

මේ සම්බන්ධයෙන් තේ කර්මාන්තයට සම්බන්ධ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් පසුගිය සිකුරාදා ද රැස්වී සාකච්ඡා කර ඇති බව කරුණු හෙළි කළ වැවිලිකරුවන්ගේ සංගමයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයෙක් තවදුරටත් ප්‍රකාශ කළේ ය.

කොළඹ තේ වෙන්දේසිය පැවැත්වෙන දින දෙක තුළ සාමාන්‍යයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 250ත් 300ත් අතර පිරිවැටුමක් වාර්තා වන අතර තේ වෙන්දේසියට ශ්‍රී ලංකා තේ නිෂ්පාදන ඉදිරිපත් නොවුණහොත් අපනයනකරුවන් විදේශ රටවලින් තේ ලබා ගැනීමේ අවදානමක් පවතින බව ද මෙම වැවිලි සංගම් ප්‍රකාශකයා සඳහන් කළේ ය.

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *