Sat. Jun 28th, 2025

ජපුර සරසවිය සජිත්ට එරෙහි වෙයි

Sep16,2024

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසුන් සම්බන්ධව ජනාධිපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස සහ ඔහුගේ මැතිවරණ වේදිකා හරහා අසත්‍ය පුවතක් සමාජගත කිරීම සම්බන්ධව එම විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් අතර ඇති කරන ලද සැකයන් මත වර්ධනය වූ නොසන්සුන්කාරී තත්ත්වයක් මත විශ්වවිද්‍යාලය වසා දැමීමට පසුගිය සැප්තැම්බර් 12 වනදා පාලනාධිකාරිය විසින් තීරණය කළ අතර මෙම සිදුවීම පටු දේශපාලන වුවමනාවන් වෙනුවෙන් වැරදි ලෙස අර්ථකථනය කිරීමට ජනාධිපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස සහ ඔහුගේ නියෝජිතයන් කටයුතු කරමින් සිටින බවට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය පෙන්වා දෙනවා.

එම සංගමය වැඩි දුරටත් පවසන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පීඨ දෙකක සිසුන් දේශපාලන පක්ෂ දෙකකට අයත් බවත් ඔවුන් අතර බරපතල ගැටුමක් ඇති වී ඇති බවත් මේ හේතුවෙන් විශ්වවිද්‍යාලය ලේ ගංඟාවක් බවට පත්ව ඇති බවත් හැඟෙන ආකාරයේ ප්‍රකාශ සජිත් ප්‍රේමදාස සහ ඔහුගේ නියෝජිතයින් විසින් සමාජගත කරමින් සිටින බවයි.

මෙම අසත්‍ය ප්‍රචාරයන් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් බරපතල ලෙස අගතියට පත්ව ඇති බවත් ඒ සඳහා කඩිනමින් මැදිහත්වී අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය මැතිවරණ කොමිසමෙන් ඉල්ලා තිබෙනවා.

ශිෂ්‍ය සංගමය විසින් මැතිවරණ කොමිසමට ඉදිරිපත් කරන ලද ලිපිය පහතින්.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *