මිතුරන් කිහිප දෙනකු සමග එක්වී ලෝක ළමා දිනය සැමරීම සඳහා කසිප්පු බෝතලයක් පාසලට ගෙනා බව කියන හයවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන 11 හැවිරිදි සිසුවකු එම කසිප්පු බෝතලය ද සමග ඊයේ (01) තිස්සමහාරාම පොලිසිය භාරයට ගෙන තිබුණා.
මෙසේ පොලිස් භාරයට ගත් සිසුවා තිස්සමහාරාම ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලබන එම ප්‍රදේශයේම පදිංචි දරුවෙක්.
මෙම සිසුවා පෙරේදා ඔහුගේ පන්තියේම ඉගෙනුම ලබන සම වයසේ පසුවන සිසුන් දෙදෙනකුට තමා ළමා දිනය සැමරීම සඳහා කසිප්පු ගෙන එන බවත් ඒ සඳහා අවශ්‍ය බයිට් මිලදී ගැනීම සඳහා මුදල් රැගෙන එන ලෙසත් දැනුම් දී ඇති බවත් තිස්සමහාරාම පොලිසිය සඳහන් කළා.
පෙර දින සවස් කාලයේ බෝතලයක කසිප්පු බාගයක් දමාගෙන පාසල් වත්තට හොර රහසේ රිංගා එම බෝතලය පාසල් වත්තේ වළක් හාරා වළ දැමූ බව සිසුවා විදුහල්පතිවරයා සමග හෙළිකර ඇති බව ද පොලිසිය කියා සිටියා.
මේ බව තිස්සමහාරාම පොලිසියේ ළමා හා කාන්තා කාර්යශයට දැනුම් දී එහි නිලධාරීන් දෙදෙනකු සහ නිලධාරිනියක් එම විදුහලට යවා එම බාල වයස්කාර දරුවා කසිප්පු බාගයක් අඩංගු බෝතලය ද සමග පොලිස් භාරයට ගත්තා.
ලෝක ළමා දිනය වෙනුවෙන් පන්තියේ මිතුරන් දෙතුන් දෙනෙකු සමග එක් වී මත්පැන් සාදයක් පැවැත්වීම සඳහා කසිප්පු රැගෙන ආ බව පොලිස් භාරයට ගත් එකොළොස් හැවිරිදි දරුවාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වුණා.
තමාගේ බාප්පා කසිප්පු පානය කරන අයකු බවත්, කසිප්පු බෝතලයක් නිවසට රැගෙන ඇවිත් තිබියදී එයින් භාගයක් ඔහුට හොරෙන් බෝතලයකට හළාගෙන එය රැගෙන ඇවිත් පාසල් වත්තේ සැඟවූ බව සිසුවා පොලිසියට පවසා තිබුණා.
සිසුවා පොලිසියට හෙළිකළ තොරතුරු අනුව එම සිසුවාගේ 19 හැවිරිදි බාප්පා ද පොලිස් භාරයට ගත්තා.
පසුව වැඩි දුරටත් පරීක්ෂණ පවත්වා සැකකාර සිසුවාගේ බාප්පාගෙන් කසිප්පු බෝතලය මිලදී ගත් අය ගැන තොරතුරු අනාවරණය කරගෙන කසිප්පු ජාවාරම්කරුවකු බව කියන එම පුද්ගලයෙකු ද සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසුවා.
මෙම කසිප්පු ජාවාරම්කරුගේ නිවසේ තිබී කසිප්පු පෙරීමට පදම් කරන ලද ගෝඩා බැරල් දෙකක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
ලෝක ළමා දිනය සැමරීම සඳහා පාසලට කසිප්පු ගෙනා බව කියන සිසුවාගේ මව ඔහු අතහැර ගොස් සිටින අතර පියා කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරතව සිටින අයෙක්.
ආච්චි සහ සීයා ළඟ සිටිමින් මොහු පාසල් යන බවයි පොලිසිය සඳහන් කළේ.