නිතර නිතර භාවිතය සඳහා පාසල් දරුවන් ඇතුළු මහජනතාව භාවිතා කරන ප්ලාස්ටික් බෝතල් සහ ආහාර ඇසුරුම් පෙට්ටි මිලදී ගැනීමේදී එම ප්ලාස්ටික් නිෂ්පාදනවල ආරක්ෂිත සලකුණ පිළිබඳ අවධානය යොමුකරන ලෙස මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
එම සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කරන්නේ පතුල මත අංක 05 හෝ වීදුරුවක් සමග ගෑරුප්පුවක් සලකුණු කර ඇති ආරක්ෂිත සංකේතය සඳහන් ප්ලාස්ටික් උපකරණ පමණක් නැවත නැවත භාවිතය සඳහා සුදුසු බවයි.
එම ආරක්ෂිත අංකය වන අංක 5 හෝ ආරක්ෂිත සලකුණ සඳහන් කර නොමැති ප්ලාස්ටික් වතුර බෝතල් සහ ආහාර ඇසුරුම් පෙට්ටි අලෙවි කරන ව්‍යාපාරිකයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා අවධාරණය කළා.
දරුවන්ගේ ආහාර ඇසුරුම්වල සුරක්ෂිතතාව පිළිබඳ දැනුවත් කිරීම සඳහා සංවිධානය කරන ලද මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළා.