මැදපෙරදිග රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ කාන්තාවක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ගම්පොළ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කටාර්, ඩුබායි ඇතුළු මැදපෙරදිග රැකියා ලබාදෙන බව පවසා ගම්පොළ ප්‍රදේශයේ කාන්තාවක් මුදල් ලබාගෙන පොරොන්දු වූ පරිදි රැකියා ලබා නොදුන් බවට කාර්යාංශයට පැමිණිලි 7ක් ලැබී තිබුණා.
එම පැමිණිලිවලට අනුව මෙම කාන්තාව වංචා කර ඇති මුදල් ප්‍රමාණය රුපියල් ලක්ෂ 40ක්
ගම්පොළ පොලීසියේද සහාය ඇතුව දැඩි පරිශ්‍රමයක් දැරීමෙන් අනතුරුව මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ගම්පොළ පොලීසියේ රඳවා ප්‍රශ්න කිරීම් සිදුකරන බව ද විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කළා
මෙම කාන්තාව අත්අඩංගුවට ගත් බව සැලවීමෙන් පසු මෙම කාන්තාවට මුදල් ලබා දුන් තවත් පුද්ගලයන් ගම්පොළ පොලීසියට පැමිණ පැමිණිලි කර තිබෙනවා
එම පැමිණිලි සම්බන්ධයෙන් කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය ඉදිරියේදී විමර්ශනය කිරීමට නියමිතයි..
අත්අඩංගුවට ගත් සැකකාරිය ඊයේ දින (17) ගම්පොළ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද දින (18) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහෙස්ත්‍රත්වරයා නියෝග කළා
විදේශ රැකියාවක් ලබාගැනීම සඳහා යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර එම ආයතනයට විදේශ රැකියා සඳහා බඳවාගැනීමට කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් තිබේද යන්න හා වලංගු රැකියා නියෝජිතායතනයක් වුවද එම ආයතනයට අදාළ රැකියා ඇණවුම ලැබී ඇත්දැයි යන්න සොයා බැලීම සඳහා කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 1989 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීම මඟින් තොරතුරු ලබාගන්නා ලෙස කාර්යාංශය විදේශ රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටිනවා.