සිය WhatsApp ගිණුමට කිසියම් පාර්ශවයක් අනවසරයෙන් පිවිස ඇති බවත් සිය සමීපතමයන් ඉලක්ක කර ගනිමින් අන්තර්ජාල මූල්‍ය වංචාවක් සිදුකර ඇති බවත් සමගි ජන බලවේගයේ සාමාජික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසනවා.
මේ සම්බන්ධයෙන් හිටපු මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ අංශයට පැමිණිල්ලක් ගොනුකළා.
තම පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් මුජිබර් රහුමාන් කියා සිටියේ තම වට්ස්ඇප් ගිණුම හැක්කර ඇති බව සහ තම සමීපතමයන් කිහිපදෙනෙකුට තම ජංගම දුරකථන අංකය හරහා මුදල් ඉල්ලා පණිවිඩ ලැබී ඇති බවයි.
“මගේ ළඟින් ඇසුරු කරන අයට වට්ස්ඇප් පණිවුඩ යවමින් මුදල් ඉල්ලා තිබෙනවා. මුදල් තැන්පත් කිරීමට බැංකු ගිණුම් අංක දෙකක් ද ලබා දී තිබෙනවා. මේ බව මට දැනුම් දුන්නේ මිතුරෙක්.” ඔහු පැවසීය
තම සමීපතමයන් කිහිපදෙනෙකු ඉහත කී බැංකු ගිණුම්වලට මුදල් මාරුකිරීමට උත්සාහ කර ඇති බව ප්‍රකාශ කළ හිටපු මන්ත්‍රීවරයා එය බරපතළ ප්‍රශ්නයක් බව ද කියාසිටියා.
මහමැතිවරණයට ඉදිරිපත්ව සිටින ඇතැම් දේශපාලනඥයන් මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරතව සිටින අවස්ථාවක කිසියම් පිරිසක් හෝ පුද්ගලයකු මෙම මූල්‍ය වංචාව සිදුකරන බව මුජිබර් රහුමාන් පෙන්වා දුන්නා.