ඉකුත් මහමැතිවරණයේදී කළුතර දිස්ත්‍රික්කය සඳහා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂකයින් විසින් ලබාගත් මනාප ඡන්ද යළි ගණනය කර අලුතින් ප්‍රතිඵල නිකුත් කරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.
එම පෙත්සමේ කරුණු සලකාබැලීම සඳහා සැප්තැම්බර් මස 30 වනදා එය කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද දින නියම කළා.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙන්නේ මැතිවරණ කොමිසම සහ එහි සභාපති ඇතුළු සාමාජිකයින්, කළුතර තේරීම් භාර නිලධාරියා, එම මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණින් තේරී පත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන, නීතිපති ඇතුළු පිරිසක්.
පෙත්සන්කරු කියා සිටින්නේ ඉකුත් මහමැතිවරණයේ දී කළුතර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ගණනය කිරීමේදී ඇතිවූ අවිධිමත් ක්‍රියා හේතුවෙන් තමන්ට පාර්ලිමේන්තුවට තේරී පත්වීමට නොහැකි වූ බවයි.
තමා සහ පාර්ලිමේන්තුවට තේරි පත්වූ මන්ත්‍රීවරයා අතර පවතින මනාප ඡන්ද අතර වෙනස ඡන්ද 119ක් පමණක් බවත් ඡන්ද ගණනය කිරීමේදී ඇතිවූ අවිධිමත් ක්‍රියා හේතුවෙන් තත්ත්වය උද්ගත වූ බවත් ඔහු පෙන්වා දෙනවා.