ඉන්දු – ශ්‍රී ලංකා ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතියක් ලෙස සිදුකෙරෙන චිත්‍රපටයක රූගත කිරීම සඳහා NE Commercial Group of Companies (Pvt) Ltd විසින් රුපියල් මිලියන 23ක් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට ගෙවා ඇති බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්ඉ.ජේ.ඉඳිපොලගේ පවසනවා.
ඒ රූගත කිරීම් කටයුතු වෙනුවෙන් කොළඹ කොටුව සහ බදුල්ල අතර දුම්රිය ධාවනය ඔක්තෝබර් 15 දක්වා ඇල්ල දුම්රිය ස්ථානයට සීමා කර තිබෙනවා.
ඊයේ උදෑසන සිට ආරම්භ කර තිබූ මෙම සීමා කිරීම දිනපතා පෙරවරු 7.30 සිට පස්වරු 5.30 දක්වා බලපැවැත්වෙනවා.
ඇල්ල සහ දෙමෝදර දුම්රිය ස්ථාන අතර ඇති ආරුක්කු නවයේ පාලම මත රූගත කිරීම් සිදුවන බැවින් ප්‍රවාහන අමාත්‍යාංශය විසින් මෙම තීරණය අනුමත කර තිබුණා.
ඉඳිපොලගේ පැවසුවේ ඇල්ල සහ බණ්ඩාරවෙල දුම්රිය ස්ථාන අතර මගී ප්‍රවාහනය සඳහා ඔක්තෝබර් 15 වැනිදා දක්වා බස් රථ ලබා දෙන බවයි.
කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වන Odyssey දුම්රිය ඔක්තෝබර් 10, 11, 12 සහ 14 යන දිනවල ඇල්ල දුම්රිය ස්ථානය දක්වා සීමා කර තිබෙනවා.
බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වන Odyssey දුම්රිය ද එම කාලය තුළ ඇල්ල දුම්රිය ස්ථානයෙන් ආරම්භ වෙනවා.
චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමෙන් පසු සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමට හැකිවන බැවින් ඉන්දු – ශ්‍රී ලංකා ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතිය ප්‍රවාහන අමාත්‍යාංශයේ අනුමැතිය මත සිදු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසා සිටියා.