යාපනයේ මිරිසුවිල්හි සිදු කළ සමූහ ඝාතනයකට (දරුවන් 3ක් සහ වැඩිහිටියන් 5ක්) වරදකරු වී මරණ දණ්ඩනය ලබා සිටි හමුදා නිලධාරියෙකු වූ සුනිල් රත්නායක නමැත්තාට ජනපති ගෝඨාභය රාජපක්ෂ විසින් ලබා දුන් ජනාධිපති සමාවට අදාළ ලිපිගොනු හතරක් නැවත පරීක්ෂා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා.
මෙම තීරණය ගැනීමට හේතු වී ඇත්තේ ඝාතනයට ලක්වූ පවුල්වල සාමාජිකයන් සහ සිවිල් සංවිධාන විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් කීපයක් නිසාවෙන් බව සඳහන්.
2000 වසරේ සිදුවූ මෙම ඝාතනය අරභයා චෝදනා 19ක් යටතේ හමුදා නිලධාරීන් 5කට නඩු පැවරුණ අතර වසර 12ක දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව 2017 වසරේදී ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් චූදිත සුනිල් රත්නායක නමැත්තාට මරණ දණ්ඩනය නියම කරනු ලැබුවා. ඔහුගේ අභියාචනයද පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලකින් ඉවත දැමුණා.
ජනපති ධුරයට පත් ගෝඨාභය රාජපක්ෂ විසින් 2020 වසරේදී ඔහු ජනාධිපති සමාව පිරිනමනු ලැබුවා.
- නීතිපතිවරයා විසින් සමාව දීමට සුවිශේෂී හේතු නොමැති බවට නිර්දේශ කර තිබීම
- දඬුවම් නියම කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ නිර්දේශය නොසලකා හැර තිබීම
- එවකට සිටි අධිකරණ අමාත්‍යවරයා විසින් නිසි ක්‍රියාවලියට පටහැනිව සමාව දීමට නිර්දේශ කර තිබීම
යන කරුණු පෙත්සම්කරුවන්ගේ නීතිඥයන් විසින් පෙන්වා දෙනු ලැබ තිබෙනවා.