ශ්‍රේෂ්ඨාධිකරණය මගින් දී ඇති නියෝගයක් මත වසා දමා ඇති විල්පත්තුව වන මැදින් ඇති මාර්ගය ඉහළ බලපෑම් මත බලෙන් විවෘත කර පුත්තලමේ පදිංචිකරුවන් පිරිසක් ඡන්දය භාවිත කිරීමට මන්නාරම හා මරිච්චිකට්ටුව වෙත බස් රථ මගින් ගෙනයෑම සදහා වනජීවි නිලධාරීන්ට දැඩි බලපෑම් එල්ල කරමින් සිටින බව ලංකාදීපය වාර්තා කරනවා.
විල්පත්තුව ජාතික වන උද්‍යානය මැදින් වූ එළුවන්කුලම පිවිසුමේ සිට මොදගම් ආරු දක්වා වූ කිලෝමීටර් 45කට ආසන්න දුරකින් යුත් මාර්ගය මේ වන විට වනජිවි නිලධාරීන් හා නාවික හමුදාව ඇතුළු ආරක්ෂක අංශ පමණක් භාවිත කරන අතර ඡන්දය භාවිත කිරීමට ඡන්දදායකයන් බස් රථවලින් රැගෙන යෑම සඳහා මෙම මාර්ගය යොදා ගැනීමට ප්‍රබල දේශපාලනඥයන් පිරිසක් ඉහළ බලධාරීන්ට දිගින් දිගටම බලපෑම් කරමින් දැඩි ප්‍රයත්නයක නිරත වන බව වනජීවි නිලධාරීන් පවසනවා.
ඉහළ බලධාරීන්ට එල්ල වන බලපෑම් හමුවේ ඔවුන් මෙම මාර්ගය විවෘත කර ගැනීම සඳහා වනජීවී නිලධාරීන්ට බැගෑපත් වෙමින් සිටින බවත් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයෙන් පිට තමන්ට කිසිදු ලෙසකින් ක්‍රියාකිරීමට හැකියාවක් නොමැති බවත් නිලධාරීන් අදාළ පාර්ශ්වයට දැනුම් දී තිබෙනවා.
පුත්තලමේ සිට මන්නාරමට විල්පත්තුව මැදින් වූ මාර්ගය පසුගිය 2015 සමයේ විවෘත වූ නමුත් එයට පරිසර සංවිධානවලින් දැඩි විරෝධය එල්ල වුණා.
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දී ඇති නඩු තීන්දුවකින් මාර්ගය වසාදමා ඇත්තේ මෙම පරිසර පද්ධතියට සිදු වන හානිය සැළකිල්ලට ගනිමින්.