දකුණු කොරියාවේ රැකියා වීසා ලැබී ඇති ශ්‍රී ලාංකිකයන් 100 දෙනෙකුට වැඩි පිරිසකට එම රැකියා සඳහා පිටත්ව යාමට රජයේ අනුමැතිය නොලැබීම හේතුවෙන් එම රැකියා අහිමි වන බව පවසමින් බත්තරමුල්ල විදේශ සේවා නියුක්ති කාර්යාංශය අසල අද (23) පැවැති විරෝධතාවයට පොලිස් බාධා එල්ල වුණා.
E8 කාණ්ඩය හෙවත් ඍතුමය රැකියා සඳහා දකුණු කොරියාවෙන් ලැබී ඇති රැකියා කෝටාව යටතේ වීසා ලබා සිටින ශ්‍රී ලාංකිකයන් 107 දෙනෙක් විදේශ සේවා කාර්යාංශයේ අනුමැතිය ලැබෙන තුරු සිටිනවා.
නොවැම්බර් 26 දා වන විට වීසා නොලැබෙන්නේ නම් රැකියා අවස්ථා අහිමි වන බව උද්ඝෝෂකයෝ කියා සිටිනවා.
කෙසේ වෙතත් මෙම රැකියා සඳහා ගිවිසුම් අත්සන් කිරීමේදී නිවැරදි ක්‍රියාපටිපාටිය අනුගමනය කර නැති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.
ගිවිසුම නීත්‍යානුකූල නැති බවත්, කැබිනට් අනුමැතියක් නැති බවත්, නීතිපති අනුමැතිය නැති බවත්, තනි පුද්ගල අවශ්‍යතාවක් මත වූ දෙයක් බවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අතිරේක සාමාන්‍යාධිකාරි ගාමිණී සෙනරත් යාපා සඳහන් කරනවා.