Sat. Jun 28th, 2025

විසුරුවා ඇති පළත් සභාවෙන් සභාපතිට ලක්ෂ 18ක දීමනාවක්

පළාත් සභාව විසුරුවා හැරීමෙන් පසු කාර්යාල දීමනාව ගෙවිය නොහැකි වුව ද දකුණු පළාත් සභාවේ සභාපතිවරයාට ඉකුත් වසර තුන තුළ (2019 ඔක්තෝබර් මස සිට 2022 ඔක්තෝබර් මස දක්වා) කාර්යාල දීමනා ලෙස රුපියල් දහඅටලක්ෂ පනස්දහසක (1,850,000) මුදලක් ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කොට ඇති විගණන වාර්තාවක සඳහන් වනවා.

විගණන වාර්තාවේ සඳහන් වන්නේ 2020 අගෝස්තු මස සිට 2022 ඔක්තෝබර් මස දක්වා කාලය තුළ දකුණු පළාත් සභාවේ සභාපතිවරයාට නිවසක් කුලියට ගැනීම වෙනුවෙන් රුපියල් දහතුන්ලක්ෂ පනස්දහසක (1,350,000) මුදලක් 2010 අගෝස්තු මස 09 දිනැති දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම්ගේ ලිපියට අනුකූල නොවන ලෙස ගෙවා තිබූ බවයි.

අනුකූල නොවන ලෙස ගෙවූ කුලී මුදල් අයකර ගැනීමට කටයුතු කළ යුතු බවද විගණනය මගින් නිර්දේශ කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් දකුණු පළාත් සභාවේ ප්‍රධාන ගණන්දීමේ නිලධාරියා විගණනයට සඳහන් කොට ඇත්තේ 2022 ඔක්තෝබර් මස සිට මෙකී දීමනාව ගෙවීම නතර කොට ඇති බවයි.

පළාත් සභාව විසුරුවා හැරීමෙන් පසු කාර්යාල දීමනාව ගෙවීම සම්බන්ධයෙන් පළාත් සභාවේ ප්‍රධාන ගණන්දීමේ නිලධාරිවරයා විගණනයට සඳහන් කොට ඇත්තේ චක්‍රලේඛ ප්‍රකාරව කාර්යාල දීමනාව සම්බන්ධයෙන් කිසිදු සඳහනක් දක්වා නොමැති බවත් එම චක්‍රලේඛයෙහි ඇතුළත් නොවන වෙනත් දීමනා ගෙවීමෙන් වළකින ලෙස සඳහනක් නොමැති බවය.

දකුණු පළාත් ප්‍රධාන ලේකම්ගේ 2019 මැයි 31 දිනැති ලිපියෙන් ලද අනුමැතිය ප්‍රකාරව මෙම දීමනාව ලබා දී ඇති බව ද ප්‍රධාන ගණන්දීමේ නිලධාරිවරයා විසින් විගණනයට සඳහන් කර තිබෙනවා.

කෙසේ වුව ද 2022 වර්ෂයේ නිකුත් කරනු ලැබූ චක්‍රලේඛයන්ට අනුව 2022 වර්ෂයේ ඔක්තෝබර් මස සිට මෙම දීමනාව ගෙවීම නතර කොට ඇති බව සඳහන්.

දකුණු පළාත් සභාව සම්බන්ධයෙන් 2022 වර්ෂයට අදාළව නිකුත් කොට විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත් වනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *