Sun. Jun 29th, 2025

බිත්තර ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් නෑ – කෘෂිකර්ම අමාත්‍යාංශය

Jul12,2024

බිත්තර ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් නොමැති අතර රටට අවශ්‍ය තරම් බිත්තර දේශීය වශයෙන් නිපදවන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය අවධාරණය කරනවා.

ලබන වසරේ සිට බිත්තර සදහා වැට් බද්දක් පැනවීමට රජය කටයුතු කරන බවටත්, මේනිසා බිත්තර මිල ඉහළ යා හැකි බවටත් බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයක් යැයි කියා ගන්නා එක්තරා සංගමයක් මාධ්‍ය වෙත නිකුත් කර ඇති නිවේදනයක් සම්බන්ධව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබෙනවා.

බිත්තර සඳහා වැට් අය කිරීම ලබන වසරේ සිට නොව මේ වනවිටත් 18%ක බද්දක් අය කරනු ලබයි.

නමුත් මෙම වැට් ප්‍රමාණය කිසිසේත්ම ලබන වසරේ තවදුරටත් ඉහළ දැමීමට සූදානමක් නැත.

මේ වනවිට අප රටට බිත්තර ආනයනය කිරීම මුළුමනින්ම අත්හිටුවා තිබෙනවා.

දැනට රටපුරා වෙළෙඳසැල්වල අලෙවි කරනු ලබන්නේ අපේ රටේ නිෂ්පාදනය කරන ලද බිත්තරයි.

දෛනික පාරිභෝජනයට අවශ්‍ය තරම් බිත්තර මේ වනවිට අපේ රටේ කුකුළු නිෂ්පාදන කරුවන් විසින් නිෂ්පාදනය කරනු ලබයි.

පසුගිය වර්ෂයේ දී මෙරට දෛනික බිත්තර පරිභෝජනය බිත්තර මිලියන 07ක් වුවද, මෙම වර්ෂයේ මේ වනවිට දෛනික බිත්තර පරිභෝජනය 15%කින් ඉහළ ගොස් තිබෙනවා.

දැනට අප රටේ දෛනික බිත්තර අවශ්‍යතාවය බිත්තර මිලියන 8.5 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙරට බිත්තර නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා රජය විසින් ගෙන ඇති පියවර රැසකි.

ඒ අනුව පසුගිය වසරේ දී මෙරටට ආනයනය කරන ලද මව්සතුන් ප්‍රමාණය 85,000ක් වුවද, 2024 වසරේ මේ වනවිට මව් සතුන් ප්‍රමාණය 116,000 දක්වා ඉහළ නංවා ඇත. මේ නිසා කුකුළු පැටවුන් සමස්ත ධාරිතාවය ඉක්මවා මේ වනවිට කුකුළු ගොවිපොළවල ස්ථාපිත වී තිබෙනවා.

බඩඉරිඟු මිල ඉහළයාම හා බඩඉරිඟු අස්වැන්න අඩුවීම හේතුවෙන් සත්ව ආහාර නිෂ්පාදනය සඳහා අපේ රටේ නිපදවන ලද සහල් මෙට්‍රික් ටොන් 100,000ක් සත්ව ආහාර නිෂ්පාදනය සඳහා ලබා දීමට පියවර ගනු ලැබුවා.

සත්ව ආහාර සඳහා ලබා දෙන දායකත්වය වක්‍රව නැවතත් කුකුළු මස් හා බිත්තර වශයෙන් ජනතාවට ම ලැබෙන ප්‍රතිලාභයක් බව ජනතාව දන්නා කරුණකි.

එමෙන්ම බඩඉරිඟු ආනයනය සඳහා බලපත් ලබා දීමේ දී මෙතෙක් ආනයනකරුවන්ට (Importers) බලපත් ලබා දීමේ පිළිවෙත නවතා දමනු ලැබුවා.

ඒ වෙනුවට කුකුළු ගොවිපොළ අයිතිකරුවන්ට හා සත්ව ආහාර නිෂ්පාදන කර්මාන්තකරුවන්ට පමණක් බඩඉරිඟු ආනයන බලපත් ලබා දීමට පියවර ගනු ලැබුවා.

සත්ව ආහාර සඳහා බඩඉරිඟු නිෂ්පාදනය දේශීය වශයෙන් ඉහළ නැංවීමට කන්දකාඩු ගොවිපොළේ බඩඉරිඟු වගා කිරීම සඳහා ඉඩම් ලබා දීමේ දී ද කුකුළු ගොවිපොළ අයිතිකරුවන් හා සත්ව ආහාර නිෂ්පාදකයින්ට ප්‍රමුඛත්වය ලබා දුන්නා.

කුකුළු කර්මාන්තය සඳහා රජයට කිසිදු වැඩ පිළිවෙළක් නැතැයි මෙම බිත්තර සංගමය කියා තිබුන ද මේ වනවිට දේශීය බිත්තර නිෂ්පාදනය ඉහළ ගොස් තිබෙන්නේ රජය විසින් අනුගමනය කළ වැඩ පිළිවෙළ නිසාය.

මේ නිසා මෙම වසර අවසන් වනවිට මෙරට අවශ්‍යතාවයටත් වඩා බිත්තර නිෂ්පාදනය කෙරෙනු ඇතැයි කුකුළු කර්මාන්තකරුවන් පවා සාක්ෂි දරනවා.

කෙසේ වුවද දැනට බිත්තර මිල රුපියල් 50 සීමාව දක්වා පවතින්නේ බිත්තර හිඟයක් නිසා නොව බිත්තර සඳහා වන ඉල්ලුම ඉහළ ගොස් ඇති නිසායි.

සංචාරක කර්මාන්තයේ දියුණුව හා මෙරටට පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය ඉහළ යාම, මාලු මිල ඉහළ යාම නිසා දෛනික බිත්තර පරිභෝජනය ඉහළ යාම මෙන්ම බිත්තරවල ඇති පෝෂ්‍යදායී බව සම්බන්ධව ජනතාව දැනුම්වත්වීම වැනි කරුණු හේතුවෙන් බිත්තර සඳහා ඇති ඉල්ලුම මේ වනවිට ඉහළ ගොස් තිබෙනවා.

එමනිසා ඉහත සඳහන් කළ බිත්තර නිස්පාදකයින්ගේ සංගමය විසින් ඉදිරිපත් කර ඇති චෝදනා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් ප්‍රතික්ෂේප කරනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *