Mon. Jun 30th, 2025

නිල්වලා ගඟේ ලවණ බාධකය නිසා අවට කුඹුරුවලට වෙන්න යන දේ

Jul18,2024

වැසි සහිත කාලගුණික අවස්ථාවන් හි දී නිල්වලා ගඟේ ලවණ බාධකය නිසා ඇති වන ගංවතුර තත්ත්වයන් හේතුවෙන් නිල්වලා ගඟ අවට කුඹුරු හෙක්ටයාර් 4000ක් පමණ නිරන්තරයෙන් ජලයෙන් යටවී හානියට පත් වෙනවා.

මෙම කාරණය සම්බන්ධව දැඩි අවධානය යොමු කරන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (17) ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නා.

ගංවතුරට හසුවීම නිසා සිදුවන වගා හානි පිලිබඳව ගොවීහු විශාල පිරිසක් තමන්ට පැමිණිළි ඉදිරිපත් කර ඇතැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

දැනට වසර ගණනාවක සිට මාතර දිස්ත්‍රික්කයේ කුඹුරු හෙක්ටයාර් 4000ක් නිරන්තරයෙන් ජලයෙන් යට වන බවටත්, මේ නිසා ගොවි ජනතාවට වගා කන්න ගණනාවක් පාඩු වී ඇති අතර කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් ඒ හැම අවස්ථාවකම එම ගොවීන්ට වන්දි ලබා දීමට ද පියවර ගත්තා.

නිල්වලා ගඟ අවට ඇති වන මෙම ගංවතුර තත්ත්වයන්ට හේතුව නිල්වලා ගඟට කරදිය මුසුවීම වැළැක්වීම සඳහා යොදා ඇති ලවණ බාධකය බව හෙළිදරව් වී තිබෙනවා.

මෙම ලවණ බාධකය ඉවත් කළහොත් නිල්වලා ගඟට මුහුදු ජලය එකතු වීම නිසා මෙම දිස්ත්‍රික්කයේ ජනතාවට පානීය ජල ගැටළුවකට මුහුණ පෑමට ද සිදුවෙනවා.

මේ නිසා මෙම කාරණයන් සියල්ල සැළකිල්ලට ගනිමින් තවදුරටත් ගංවතුරට යට වන මෙම කුඹුරුවල වී වගාව කිරීම සඳහා ඇති උචිතානුචිතභාවය පිළිබඳව අවධානය යොමු කරන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට දැනුම් දුන්නා.

මෙම කාරණය පිළිබඳව සාකච්ඡාවක් ඊයේ (17) පස්වරුවේ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ දී පැවැත්වුණා.

ඊට අමාත්‍යවරයා මෙන්ම ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරින් ද සහභාගි වුණා.

වගාහානි සිදුවන මෙම කුඹුරු ගොවීන්ට වන්දි මුදලක් ලබා දී එම කුඹුරු ඉඩම් රජයට පවරා ගන්නේ ද, නැද්ද යන්න හා ඊට සම්බන්ධව කරුණු සොයා බැලීම සඳහා අමාත්‍ය මණ්ඩල තීරණයක් පරිදි කමිටුවක් පත් කර තිබෙනවා.

නමුත් තවමත් ඒ සම්බන්ධව අවසන් තීරණයක් ගෙන නැහැ.

ඉදිරි වගා කන්නවලදී ද අධික වර්ෂාවක් ලැබීමට ඇති ඉඩකඩ බෙහෙවින් වැඩි බැවින් මෙම කුඹුරු ඉඩම්වල වී වගා කිරීම තවදුරටත් ව්‍යාප්ත නොකළ යුතු බවට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පෙන්වා දුන්නා.

ඒ අනුව නිල්වලා ගඟේ ලවණ බාධකය හේතුවෙන් ඇතිවන ගංවතුරට යට වන කුඹුරුවල වී වගාව ව්‍යාප්ත නොකිරීමට අවධානය යෙමු කරනු ලබනවා.

වී වගාව හැර වෙනත් වගාවන් සඳහා ගොවීන් උනන්දු කරවීමටත්, ඒ සඳහා ගොවි ජනතාවට අවශ්‍ය මුල්‍ය හා තාක්ෂණික පහසුකම් රජය මගින් ලබා දීමටත් වැඩ පිළිවෙළක් සැකසීමට තීරණය කරනු ලැබුවා.

මෙම සාකච්ඡාවට ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ඒ. එම්. එච්. එල්. අබේරත්න මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගි වුණා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *