ඉකුත් 14 වන දින රත්නපුර නගරයේ පැවැති ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ජන රැළියට සහභාගී වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත පුංචිනිලමේට අවස්ථා කිහිපයකදී වේදිකාවට නැගීමට සහ වේදිකාවෙන් බැසීමට සිදු වී ඇති බවත් අවසානයේ වේදිකාවෙන් පහළ සිට ජනහමුව නරඹා ඇති බවත් වාර්තා වෙනවා.
පුංචිනිලමේ වේදිකාවට ගොඩවන විට රැස්ව සිටි මහජනතාව ඔල්වරසන් දුන් නමුත් ඔහු වේදිකාවට ගොඩවනවාත් සමග සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ ඇතුළු පිරිස පුංචිනිලමේට විරෝධය පළකරමින් වේදිකාවෙන් බැස තිබෙනවා.
ඒ වන විට සජිත් ප්‍රේමදාස වේදිකාවට පැමිණ සිටියේ නැහැ.
වේදිකාවේ සිටි සුසන්ත පුංචිනිලමේ පසුව ඉන් බැස වේදිකාව අසල සිටිනු දැක ගන්නට ලැබුණා.
පුංචිනිලමේ වේදිකාවෙන් බැස්ස පසු සමගි ජන බලවේගයේ හේෂා විතානගේ ඇතුළු පිරිස යළි වේදිකාවට ගොඩ වුණා.
අවසන් මොහොතේ දිනන බව දැනගෙන එන කවුරුවත් සමගි ජන බලවේගයට අවශ්‍ය නැති බවත් සමාජයේ විවිධ චෝදනාවලට ලක්වූවන්ගේ සහාය අපට අවශ්‍ය නොවන බවත් හේෂා විතානගේ මෙම රැළියේදී අදහස් දක්වමින් ප්‍රකාශ කළා.
ආරියවංශ බාලසූරිය කතාකරමින් සිටියදී සුසන්ත පුංචිනිලමේ දෙවැනි වරටත් වේදිකාවට ගොඩ වු අතර ඒ අවස්ථාවේ ද වේදිකාවේ සිටි පිරිසගෙන් විරෝධය එල්ල වුණා.
පසුව සුසන්ත පුංචිනිලමේ වේදිකාවෙන් ඉවත්ව ඒ ආසන්නයේ රැඳී සිටිමින් රැස්වීම නරඹනු දැකගත හැකි වුණා.
සුසන්ත පුංචිනිලමේ 1994 සිට 2010 කාලයේ දී රත්නපුර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළා.
1997 පෙබරවාරි 11 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රී නාලන්ද එල්ලාවල කුරුවිට දී ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවෙක් වූ ඔහු 2013 දෙසැම්බර් මාසයේදී එම චෝදනා වලින් නිදොස්කොට නිදහස් කරනු ලැබුවා.
2019 වසරේදී අරලියගහ මැඳුර ඉදිරිපිටදී හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වන නඩුවකට අදාළව හේෂා විතානගේට මේ වන විට අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබෙනවා.