ගල්ඔය ප්‍රදේශයේ දී මීනගයා ශීඝ්‍රගාමී දුම්රියේ වනඅලි රංචුවක් ගැටී අනතුර සිදු වූ දිනයේ එම දුම්රිය පදවා ඇත්තේ වයෝවෘද්ධ රියදුරෙකු බව වනජීවී සංරක්ෂණ සංසදය පවසනවා.
එම සංගමයේ ලේකම් නයනක රංවැල්ල වැඩිදුරටත් පෙන්වා දෙන්නේ දුම්රිය පැදවීමට එම රියදුරාට රාජ්‍ය සේවා කොමිසමේ නිර්දේශය හෝ නොමැති බවයි.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නයනක රංවැල්ල මහතා මෙසේ ද පැවසුවා.
“මේ දුම්රිය පදවාගෙන ගිහින් තියෙන්නේ වයස අවුරුදු 67ක් වෙච්ච අඩුගානේ රාජ්‍ය සේවා කොමිසමේ නිර්දේශයවත් නැති දුම්රිය රියදුරෙක්. ඔහුගේ අදාළ නිර්දේශ කාලපරිච්ඡේදය පසුගිය ජනවාරි 15 වනදායින් අවසන් වෙලා තියෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුවේ එවැනි දුම්රිය රියදුරන් 19 දෙනෙක් සිටින බවයි අපිට පෙනෙන්නට තියෙන්නේ. තමන්ගේ ඉහළ නිලධාරියාගේ කට වචනයට තමයි වයෝවෘධ රියදුරා මේ දුම්රිය අරන් ගිහින් තියෙන්නේ. බිමල් රත්නායක මහතා මේ ගැන දන්නේ නෑ. එතුමාට මේක දන්නේ නැතිනම් වහාම සොයා බලන්න කියලා කියනවා.”
පසුගිය 20 වැනිදා රාත්‍රියේ මීනගයා ශීඝ්‍රගාමි දුම්රියේ ගැටී වන අලි සත්දෙනෙකුට දිවි අහිමි වුණා.