කලක් තිස්සේ පැවැති පෙම් සබඳතාවක් බිඳුණැයි පෙම්වතා විසින් පෙම්වතියගේ ගෙල කපා ඝාතනය කළ පුවතක් රත්නපුර දෙල්ලබඩ පෙදෙසින් වාර්තා වෙනවා. ඊයේ (29) මෙසේ සිය පෙම්වතාගේ පිහිපහරට ලක් වූ 29 වියැති චන්දිමා හර්ෂණී නම් යුවතිය මරණයට පත් වුණා. ඇයට පහර දී වස පානය කළ ඇගේ පෙම්වතා බව කියන 32 හැවිරිදි තරුණයා රත්නපුර ශික්ෂණ රෝහලට ඇතුළු කළ බව ඇලපාත පොලිසිය පැවසුවා. ඔහුගේ තත්වය අසාධ්‍ය බවයි වාර්තා වන්නේ.
පෞද්ගලික මූල්‍ය ආයතනයක වැඩ කළ මෙම තරුණිය ඊයේ උදෑසන මුළුතැන්ගෙයි ආහාර පිසිමින් සිටින විට එහි ඇතුළු වී ඇති පෙම්වතා බව කියන තරුණයා පිටුපසින් ගොස් පිහියකින් ඇගේ ගෙල කපා දමා තිබෙනවා. ඇය එම ස්ථානයේදීම මියගොස් ඇතැයි විශ්වාස කෙරෙන අතර අත තිබු වස බෝතලය පානය කර එය මේසයක් මත තබා ඔහු නිවසින් පළා ගොස් ඇතැයි පැවසුණා. කෙසේ වෙතත් ඇගේ මවද මුළුතැන්ගෙයි සිට ඇති අතර ඇය මදකට ඉවතට ගිය අතර සිදුවීම සිදුව තිබුණා.
ඝාතකයා අනුරාධපුර පදිංචිකරුවෙක්. ඔහු නිවස ආසන්නයේ කුඹුරක ඇද වැටී සිටිනු දුටු ප්‍රදේශවාසීන් ඔහුව රෝහලට ඇතුළත් කර තිබුණා.
පොලිසිය සැක කරන්නේ තරුණයා රාත්‍රි කාලය පුරාම නිවස ආසන්නයේ සැඟවී සිට ඇති බවටයි. ඝාතනය වූ තරුණිය සහ තරුණියා උපාධිධාරී අයවළුන් වන අතර කලක් තිස්සේ පෙම් සබඳතාවක් පවත්වා තිබු බව අනාවරණය වී තිබුණා. මෙය සරසවියේදී ඇතිවූ ප්‍රේම සම්බන්ධයක් බවද සඳහන්.
දිගු කලක් මොවුන්ගේ පෙම් සබඳතාව පැවතියද විවාහයට තරුණියගේ පවුලෙන් එල්ල වූ දැඩි විරෝධතා නිසා දෙපාර්ශ්වය අතර ගැටුම්කාරී තත්වයක් මතු වී තිබුණ බවද සඳහන්.
තරුණයාද අසාධ්‍ය තත්වයේ පසුවන අතර ඔහු සුව වූ පසු නීතිමය ක්‍රියාමාර්ග ගැනෙනු ඇති.