සංචාරක වීසා මගින් බහරේනයට පැමිණ එරට අනුග්‍රහකයෙකු නොමැතිව රැකියා වීසා බවට පරිවර්තනය කිරීමට නොහැකි බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරනවා.
එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් ඒ බව නිවේදනය කර ඇති බව සඳහන්.
කිසිඳු තත්ත්වයක් මත යම් විදේශිකයෙකු බහරේනයට ඇතුල්වීමේ වීසා බලපත්‍රයක් මත එය රැකියා හෝ පදිංචි බලපත්‍රයක් බවට පරිවර්තනය කිරීමට අවසර නොලැබෙන බව එම නිවේදනය මගින් දන්වා තිබෙනවා.
කෙසේ වෙතත් අනුග්‍රහයෙකු සමඟ සංචාරක වීසා, රැකියා විසා බවට පරිවර්තනය කිරීමට හැකිවන පරිදි නීති සංශෝධනය කර ඇති නමුත් මීට පෙර අය කළ බහරේන් ඩිනාර් 60 ක ගාස්තුව ඩිනාර් 250 දක්වා ඉහළ නංවා තිබෙනවා.
මීට පෙර 2024 පෙබරවාරි මස 13 වෙනි දින සිට බලපැවැත්වෙන පරිදි බහරේන් රාජ්‍යයේ රැකියා සඳහා සංචාරක වීසා මාර්ගයෙන් ඇතුළුවීම තහනම් කිරීමට එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් පියවර ගෙන තිබුණු අතර මීට අදාළ නීති රෙගුලාසි බහරේන් රජය විසින් සම්මත කරගෙන ඇති බව ද සඳහන්.
ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ මොනයම් හේතුවක් මත හෝ සංචාරක වීසා උපයෝගි කොටගෙන අනුග්‍රහකයෙකු නොමැතිව හා කාර්යාංශයේ ලියාපදිංචියකින් තොරව බහරේනයේ රැකියා ලබාගැනීමට විදේශගත නොවන ලෙසයි.
සංචාරක වීසා මගින් බහරේනයේ රැකියා ලබාදෙන බවට ව්‍යාජ පොරොන්දු දී සංචාරක වීසා භාවිතා කරමින් එරට විශාල ප්‍රමාණයක් සිටින බවත් එලෙස එරට වැඩිකාලයක් රැඳීසිටින ශ්‍රී ලාංකිකයින් යළි ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට තානාපති කාර්යාලයට ඉල්ලීම් ලැබෙමින් පවතින බවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් පෙන්වාදෙනවා.