Sat. Jun 28th, 2025

ජපන් තානාපති ගෝඨාට දෙස් තියයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ධුර කාලයේදී සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය අවලංගු කිරීම විනිවිදභාවයෙන් තොර තීරණයක් බවත් ඉන් පසුව ඔහුට ජපානයෙන් ශ්‍රී ලංකාවට සහාය ලබාගැනීම දුෂ්කර වූ බවත් සිය සේවයෙන් නික්ම යන ජපාන තානාපති මිසුකොෂි හිදේකි පවසනවා.

‘ඩේලි මිරර්’ සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පවසා ඇත්තේ එම අවලංගු කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමාව අයැද ජපානයෙන් සහාය ඉල්ලා සිටීමත් සමඟ සියල්ල යළි සිදුවීමට පටන් ගත් බවයි.

වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේ පැවසුවා.

“මම හිතන්නේ එය ඉතා විනිවිදභාවයෙන් තොර තීරණයක සාමාන්‍ය අවස්ථාවක්. ඒක අවලංගු කරලා කාටද වාසියක් වෙලා තියෙන්නේ කියලා මම දන්නේ නැහැ. 2019 දී රජයන් දෙකම එකඟ වූ මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාව ඒකපාර්ශ්විකව අවලංගු කළ බව ඇත්තක්. එය ජපානයේ රජය, ජයිකා සහ ඊට සම්බන්ධ සමාගම් ඇතුළු අනෙකුත් සියලුම දෙනා කම්පනයට පත්කළා. මෙම ඉතා කණගාටුදායක අවලංගු කිරීම නිසා ජපානයෙන් පමණක් නොව අනෙකුත් විදේශ රටවලින් ද ශ්‍රී ලංකාව විශ්වාසය නැතිකරගත් බවයි මම සිතන්නේ.”

ආර්ථික අර්බුදය හේතුවෙන් ඇනහිට ඇති ණය ව්‍යාපෘති 11ක් නැවත ලබාදීමට ජපානය නිල වශයෙන් තීරණය කළ බව ද ඔහු පැවසීය.

මෙරට ව්‍යාපාරික පරිසරය පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා ඇත්තේ, ඉන්දීය සාගරයේ උපායමාර්ගික පිහිටීම සළකා බැලීමේදී ශ්‍රී ලංකාවට ඉතා ඉහළ වර්ධන අවස්ථාවක් ඇති නමුත් සාධාරණ, විශ්වසනීය, විනිවිද පෙනෙන ව්‍යාපාරික පරිසරයක් නිර්මාණය කිරීමේදී ශ්‍රී ලංකාවට දියුණුවක් අවශ්‍ය බවයි.

“එය ගෝලීය වෙළඳාමෙන් සියයට 90 ක් සහ මෙම කලාපයේ ඛනිජ තෙල් ප්‍රවාහනයෙන් සියයට 70 ක් සඳහා කේන්ද්‍රස්ථානයක්” යැයි ඔහු පැවසුවා.

දුෂණ විරෝධී ප්‍රශ්න විසඳීම සඳහා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ජනතා වරමකින් තේරී පත්වූ බවත් එය පැරණි ක්‍රියාවලින් මිදී ව්‍යාපාරික පරිසරය වැඩිදියුණු කිරීමට ශ්‍රී ලංකාවට පෙර නොවූ විරූ අවස්ථාවක් බවත් ජපාන තානාපති මිසුකොෂි හිදේකි වැඩි දුරටත් පවසා තිබුණා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *