Sun. Jun 29th, 2025

ආයුර්වේද උපාධිධාරීන්ගේ සීමාවාසික පුහුණුවීම් යළි ඇරඹෙයි

Jun18,2024

රටේ පැවති අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ආයුර්වේද උපාධිධාරීන්ගේ ඇනහිට තිබූ සීමාවාසික පුහුණුවීම් යළි ආරම්භ කළ බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසනවා

ඒ අනුව මාසයකට රුපියල් 67,500ක ගෙවීමක් සහිතව ආයුර්වේද උපාධිධාරීන් සඳහා වන සීමාවාසීක පුහුණුව ආරම්භ කළ බවත්, ඊට රජය රුපියල් මිලියන 320ක් වැය කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (18) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා

දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විදිහට මේ වන විට අප විශාල ජයග්‍රහණයක් ලබා තිබෙනවා. ඉකුත් කාලයේ පැවති විවිධ අර්බුද හේතුවෙන් විශ්වවිද්‍යාලවලින් සමත් වූ ආයුර්වේද උපාධිධාරීන්ගේ සීමාවාසික පුහුණුවීම් ප්‍රමාද වී තිබුණා. ඒ අනුව ජුනි මාසයේ 03 වනදා සිට ආයුර්වේද සිද්ධ යුනානි උපාධිධාරීන් 207ක් සඳහා රුපියල් 67,500ක මාසික ගෙවීමක් සහිතව සීමාවාසික පුහුණුව ආරම්භ කළා.

ඒ වගේම තවත් උපාධිධාරීන් 153ක් සඳහා ද එළඹෙන අගෝස්තු මස 12 වනදා වන විට පුහුණුවීම් ආරම්භ කරනවා. ඒ අනුව ආයුර්වේද දෙපාර්තමේන්තුව මඟින් උපාධිධාරීන් 418 දෙනෙකු වෙනුවෙන් පුහුණුවීම ලබා දීම සිදු කරනවා. රජය විසින් මේ සඳහා රුපියල් මිලියන 320ක මුදලක් වැය කරනවා.

අප රට තුළ පැවති පාරම්පරික සහ හෙළ වෙදකම් ලියාපදිංචිය පුළුල් කිරීම දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සහ ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් මේ වන විට සිදුකරමින් පවතිනවා. ඒ අනුව එළැඹෙන ජුනි මස 30 දක්වා ලියාපදිංචිය සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරීමට දැන් අවස්ථාව තිබෙනවා.

එමෙන්ම අද වින විට විවිධ වෘත්තීය සමිති විසින් නිරන්තරවම වෘත්තීය ක්‍රියාමාර්ග දියත් කර තිබෙනවා. ඔවුන් තමන්ගේ යුතුකම් ඉටුකිරීම පසෙකලා, තමන්ගේ වරප්‍රසාද වෙනුවෙන් කටයුතු කරමින් සිටින බව කිව යුතුයි. මෙවැනි පිරිස් රටේ අනාගතය අඳුරු කරනවා.

තවද අපගේ රට ජපානය වැනි තත්ත්වයකට පැමිණිය යුතු බව ඇතැමුන් පවසනවා. නමුත් ඔවුන් ජපානයේ ජනතාව මෙන් වැඩ කිරීමට කැමති නැහැ. ඕස්ට්‍රේලියාවේ වැනි අධ්‍යාපන ක්‍රමයක් තිබිය යුතු බව ද ඔවුන් පවසනවා. නමුත් ඔවුන් ඕස්ට්‍රේලියාවේ ක්‍රමයට විශ්වවිද්‍යාලයක් පිහිටුවනවාට කැමති නැහැ. අපේ දෙමව්පියන් ඉඩකඩම් පවා විකුණමින් දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් විදෙස්ගත කිරීමට උත්සාහ කරනවා. ඊට හේතුවී ඇත්තේ අපගේ රට තුළ විවිධ ශිෂ්‍ය සංගම් සහ ශිෂ්‍ය අරගල විසින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීමට අවස්ථාවක් ලබා නොදීමයි. එබැවින් ජනතාව මේ සම්බන්ධව අවබෝධයක් ඇතිව කටයුතු කළ යුතුයි.

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *