Sun. Jun 29th, 2025

පඩි වැඩි කළොත් බදු වැඩිවෙයි

Jul9,2024

මහා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධනවර්ජනයේ නිරත රාජ්‍ය සේවකයන් ඉල්ලා සිටින වැටුප් වැඩි කිරීම ලබාදීමට කටයුතු කළහොත්, දැනට පනවා තිබෙන සියයට 18ක වැට් බද්ද සියයට 20 – 21ත් අතර අගයකට ඉහළ නැංවීමට සිදුවනු ඇති බවත්, මහජනතාව පීඩාවට පත්කරමින් එවැනි ඉල්ලීමක් සපුරාලීමට රජයට හැකියාවක් නොමැති බවත් මහා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන ප්‍රකාශ කරයි.

මහා භාණ්ඩාගාර ලේකම්වරයා මේ බව සඳහන් කළේ රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති විසින් ඉදිරිපත් කර ඇති ඉල්ලීම් සම්බන්ධව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (08) පැවැති සාකච්ඡාවට එක් වෙමිනි.

මේ වනවිට රාජ්‍ය සේවයට අදාළ වෘත්තීය සමිති කිහිපයක් විසින් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ක්‍රියාත්මක කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේ දී ජනාධිපතිවරයාගේ අවධානය යොමු වූ අතර වෘත්තීය සමිති විසින් ඉදිරිපත් කර ඇති ඉල්ලීම් සඳහා ලබාදිය හැකි සාධනීය විසඳුම් සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක් කෙරිණ.

මෙම වසරේ දී වැටුප් වැඩිකිරීමක් ලබාදීමේ හැකියාවක් නොමැති නමුත්, රාජ්‍ය සේවයේ පවතින වැටුප් විෂමතාවන් පිළිබඳ සොයාබැලීම සඳහා පත්කළ විශේෂඥ කමිටුව මඟින් ඉදිරිපත් කරනු ලබන නිර්දේශ සැලකිල්ලට ගනිමින් 2025 අය -වැය මඟින් රාජ්‍ය සේවයේ වැටුප් සංශෝධනයක් සිදුකිරීමට බලාපොරොත්තු වන බව ද මෙහිදී සඳහන් කෙරිණි.

රාජ්‍ය සේවකයන්ට රුපියල් දස දහසක වැටුප් වැඩි වීමක් ලබා දුනහොත් දැනට පවතින වියදමට අමතරව වාර්ෂිකව තවත් රුපියල් බිලියන 140ක් පමණ අවශ්‍ය වන බවත්, රුපියල් විසි දහසකින් වැටුප් වැඩි කළහොත් ඒ සඳහා තවත් රුපියල් බිලියන 280ක් අවශ්‍ය වන බවත් මහා භාණ්ඩාගාර ලේකම්වරයා පෙන්වා දුන්නේය.

මෙම ආදායම සොයාගැනීමට නම් දැනට තිබෙන ආදායම උපරිම ලෙස කළමනාකරණය කර ගත්ත ද, බදු වැඩිකිරීමට ද සිදුවන බව පෙන්වා දුන් ඒ මහතා රුපියල් දස දහසකින් වැටුප් වැඩි කිරීමට නම් සියයට 2ක පමණ වැට් බදු වැඩි කිරීමක් සිදුකළ යුතු බව ද සඳහන් කළේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *