Sat. Jun 28th, 2025

ඡන්දෙ කාලේ පත්වීම් දිය යුතු හැටි මැතිවරණ කොමිසම කියයි

එළැඹෙන මහ මැතිවරණ සමයේ සිදුකෙරෙන රජයේ සේවකයන්ගේ සියලුම නව පත්වීම්, උසස්වීම් සහ ස්ථාන මාරුවීම් සඳහා මැතිවරණ කොමිසමේ පූර්ව අනුමැතිය අවශ්‍ය බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කළා.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක කියා සිටියේ සාධාරණ හා විනිවිදභාවයෙන් යුත් මැතිවරණ ක්‍රියාවලියක් සහතික කිරීම සඳහා රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත ආයතන ඇතුළු රජය සතු දේපළ අයථා පරිහරණය වැළැක්වීම සඳහා මෙම පියවර ගන්නා බවයි.

කොමිසමේ රෙගුලාසිවලට අනුකූලව නව කළමනාකාර අධ්‍යක්ෂවරයකු පත් කිරීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව වරාය අධිකාරිය අයත් අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කළ බව ද ඔහු සඳහන් කළා.

මහ මැතිවරණ ක්‍රියාවලිය දැනටමත් ආරම්භ කර ඇති බව අවධාරණය කරමින් දින තුනක් ඇතුළත මේ සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙස කොමිසම එම ලිපියෙන් දන්වා තිබුණා.

පසුගිය රජය සමයේ දේශපාලන පත්වීම් ලැබූ ඕනෑම අයකුට මැතිවරණ කාලසීමාව තුළ එම තනතුරුවලින් ඉවත්වීමේ සදාචාරාත්මක වගකීමක් ඇති බව ද ස්ථීර තනතුරුවල සිටින අයට ඔවුන්ගේ ධුරයන්හි රැඳී සිටීමට අයිතියක් ඇති බැවින් ඉල්ලා අස්වීමට කිසිදු බැඳීමක් නොමැති බව ද ඔහු සඳහන් කළා.

කෙසේවෙතත් ජනාධිපතිවරණ සමයේදී ඇණහිට ඇති ව්‍යාපෘති සහ වැඩසටහන් ක්‍රියාත්මක කළ හැකි බවත් ව්‍යාපෘති ආරම්භ කිරීමට මැතිවරණ කොමිසමේ අවසරය අවශ්‍ය නොවන බවත් ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *