Wed. Apr 30th, 2025

දේශපාලනයෙන් ඉවත් වන හැටි රත්තරන් කියයි

හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනගේ බෑනා කෙනෙක් බව කියන මහනුවර ප්‍රධාන පෙලේ වාහන අලෙවිසැලක හිමිකරුවෙකුගේ පුත්‍රයෙකුගේ නිවසක තිබී ලියාපදිංචි නොකළ නවීන මෝටර් රථයක් සහ ජීප් රථයක් සොයාගෙන ඇති අතර යම් විදියකින් තමන් මේ වාහන සිද්ධියට සම්බන්ධ බව තහවුරු වුවහොත් දේශපාලනයෙන් ඉවත් වන බව හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

“පැහැදිලි ලෙසම කියන්න ඕනේ රෝහිත අබේගුණවර්ධන මේකට සම්බන්ධ නෑ කියලා. ඒක මම වගකීමෙන් කියන්නේ. යම් විදියකින් රෝහිත අබේගුණවර්ධන වන මම මේ වාහන සිද්ධියට සම්බන්ධ නම් මම මගේ දේශපාලනයෙන් අයින්වෙනවා. වගකීමෙන් කියන්නේ. මම දේශපාලනය කරලා තියෙන්නේ වංචාකරන්න හොරකම් කරන්න නෙමෙයි. ඒ නිසා අපි වගකීමකින් පැහැදිලිව කියනවා මේ වගේ දේවල් තියෙනවා නම් මේ වගේ ඇත්ත හොයලා ක්‍රියාකරන්න. දැන් කියනවා මේක බෑණාගේ අයියාගේ කියලා. දැන් කවුරුහරි බෑණාගේ අයියා කෙනෙක්ගේ නම් ඒ ඔවුන් මොකක් හෝ වරදක් කරලා තියෙනවානම් මම පළිද? මොකක්ද මගේ තියෙන සම්බන්ධය. මේ තියෙන්නේ මම ඉන්න නිවස. මේ ගෙදරට හැමදාම මිනිස්සු එනවා, යනවා, කෑම කනවා, මේ අපේ වාහන තියෙනවා ලියපදිංචි වාහන, හැබැයි එකක්වත් අපි එහෙම ඒවා පාවිච්චි කරලා නැහැ. ඉතින් මෙතනදී බොහොම පැහැදිලිව මම කියන්න ඕනේ කවුරු හරි මගේ හිතවතෙක් වැරද්දක් කරත් රෝහිත අබේගුණවර්ධන පළි ද ? ඒ කියන්නේ අපි වගකියන්න ඕනේද වෙන කෙනෙක් වැරැද්දක් කළොත්. මම වරදක් කරලා තියෙනවා නම් බොහොම පැහැදිලිව මට චෝදනා කරන්න. මම වගකීමකින් කියනවා. මම මගේ දේශපාලන ජීවතයෙන් සමුගන්නවා. මම මගේ මැතිවරණ අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වෙනවා මේ සම්බන්ධයෙන් යම් තැනක හරි මගේ සම්බන්ධයක් තියෙනවා නම් ඔප්පු කරන්න. මම ඒක අභියෝග කරනවා. ඕනෑම කෙනෙකුට අභියෝග කරනවා රෝහිත අබේගුණවර්ධන මේකට සම්බන්ධ නම් ඔප්පු කරන්න. මම දේශපාලනයෙන් ඉල්ලා අස්වෙනවා. ඇයි මේක කරන්නේ?”

මේ අතර හිටපු අමාත්‍යවරයාගේ බෑණා බව පැවසෙන ගයාන් සේරම් ඊයේ (21) නීතිඥවරයෙක් සමග බම්බලපිටිය පොලීසියට ගොස් පැමිණිල්ලක් කර තිබෙනවා.

ඔහු පැවසුවේ අදාළ චෝදනාව සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස ඉල්ලා පැමිණිල්ලක් කිරීමට පැමිණි බවයි.

“මම රෝහිත අබේගුණවර්ධන මහතාගේ බෑණා. මටයි මගේ බිරිඳගේ තාත්තටයි විරුද්ධව මඩ ප්‍රචාරයක් යනවා. ඒක නිවැරදි කරන්න පැමිණිල්ලක් දාන්නයි ආවේ. වාහන දෙකක් හම්බ වුණා. ඒ දෙකට මාවයි මගේ වයිෆ් ගේ තාත්තාවයි පටලවන්න හදනවා. මගේ පදිංචිය කොළඹ. මේක නුවරින් හම්බවෙච්ච එකක්.”

පොලීසිය සඳහන් කළේ 1997 අංකයට ලැබුණු තොරතුරකට අනුව එම රථවාහන සොයාගත් බව සහ එම නිවැසියන්ට එම වාහනවල කිසිදු නීත්‍යානුකූල ලියවිල්ලක් ඉදිරිපත් කිරීමට අපොහොසත් වූ බවයි.

වාහන ගාල්කර තිබූ නිවසේ හිමිකරුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් පසු මෝටර් රථ දෙක පොලීසිය භාරයට ගෙන තිබුණා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *