Sat. Jun 28th, 2025

ආණ්ඩුවේ මරිසි, මීඩියා ෂෝ සහ සහල් වෙළඳපොල යථාර්ථය!

Dec10,2024 #2024 #news #sl economy #slpolitics

මේ දිනවල කැකෑරෙන ප්‍රශ්නය සහල් සහ පොල් මිල පිළිබඳ ප්‍රශ්නයයි. එය එවැනි කැකෑරෙන ප්‍රශ්නයක් වන්නේ මෙරට සාතිශය බහුතර ජනතාවක් එදිනෙදා පරිභෝජනය කරන ආහාර අතර මේවා ප්‍රධාන වෙන නිසායි.

පසුගිය කන්නවල මිලට ගත් වී ප්‍රමාණවත් තරම් මහ මෝලුන් ළඟ තිබෙන බව ආණ්ඩුවේ බලවතුන් (ලාල්කාන්ත/වසන්ත සමරසිංහ) වැන්නන් පවා නිල වශයෙන් පිළිගෙන තිබේ. එහෙත් කිසිදු සාධාරණ හේතුවකින් තොරව වෙළඳපොලේ සහල් මිල ඉහළ ගොස් ඇත. පිළියමක් ලෙස ඉන්දියාවෙන් සහල් ගෙන්වීමට සැලසුම් කර ඇතත් ඒවා ද දරිද්‍ර පාන්තික ජනතාවට සහනයක් ලැබෙන මට්ටමේ මිල අඩුවකින් ලැබෙන බවට පෙනෙන්නට ද නැත.

ප්‍රශ්නය උග්‍ර වෙද්දී ජනපතිවරයා මහමෝලුන් කැඳවා සහල් මිල පාලනය කරන්නැයි ගෝරනාඩු කර පාලන මිලක් දැමුවේ පසුගිය දෙසැම්බර් 7 වැනි දා ය. මහමෝලුන්ද බයාදු ලෙස ඔළුවා නමා ජනපතිට බයපස්සපාතව හැකිළී ගිය අතර දෙසැම්බර් 9 වැනි දා එනම් ඊයේ රජය විසින් උපරිම තොග සහ සිල්ලර මිල දක්වා ගැසට්ටුවක් ද නිකුත් කළේ ය.

මිල වැඩි අලෙවිසැල් වැටලීමට ද පාරිභෝගික කටයුතු අධිකාරිය ක්‍රියාකරගෙන යති.

ගෝටා නාටකයේ දෙවැනි කතාංගයක් මෙන් මේ දිග හැරෙන ආණ්ඩුවේ මරිසි මීඩියා සංදර්ශනය ගැන මෙසේ ලියා තැබිය යුතු ය.

අද (10) වෙළඳපොලේ දේශීය රතු කැකුළු සහල් කිලෝවක් මිලට ගත්තේ රුපියල් 275.00 මිලකට ය. එසේ නමුත් ගැසට්ටුවේ ඇත්තේ දේශීය කැකුළු සහල් කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 220 වශයෙනි. ඒ අනුව වෙළෙන්දා අපට සහල් කිලෝවක් අලෙවි කර ඇත්තේ රුපියල් 55ක් වැඩි මුදලකටයි. මේ ගැන ප්‍රශ්න කළ විට ජනපතිගේ සංදර්ශනයෙන් එහා ඇති චිත්‍රය පැහැදිලි කරගත හැකි ය.

සිල්ලර බඩු වෙළඳසැල් හිමියා සහල් අලෙවි කිරීමට පෙර මා දන්නා හඳුනන අයෙක්දැයි බැලුවේ ය. නොදන්නා අයට සහල් අලෙවි කරනු නොලැබේ. මේ පිළිබඳව ප්‍රශ්න කළ විට දන්නා හඳුනන බැවින් ඔහු විසින් ඊයේ සහ පෙරේදා (9/8) දිනවල තමා සහල් මෝල් හිමියන් වෙතින් ලබා ගත් සහල් මිල ගණන් සම්බන්ධ බිල්පත් ඉදිරිපත් කළේ ය.(ඒවායේ පින්තූර ලබාදීමට ඔහු අකමැත්ත පළ කළේ මෝලුන්ගෙන් ලැබෙන සහල් ටිකට කෙළවීමේ බිය නිසා ය.) ඒ අනුව ජනපතිගේ ගෝරනාඩු සාකච්ඡාවටත් ගැසට්ටුවටත් පසුව සහල් ඔහු වෙත මහ මෝලුන් ලබා දෙන්නේ ගිනි ගණනටය. පැහැදිලිව ම සිල්ලර කඩ හිමියාට සහල් කිලෝවකින් ඇත්තේ රුපියල් 3කි.

මෝල්වල සැඟවූ තොග එසේ තිබිය දී පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් වටලනු ලබන්නේ සිල්ලර කඩ හිමියන් වන අතර පය බරවායට පිටිකර බෙහෙත් බැඳීමට එහා දෙයක් එහි නැත. එයින් සිදුවන්නේ සිල්ලර කඩ හිමියන් සහල් අලෙවියට දුර්මුඛ වී ජනතාවට වැඩි මිලට හෝ කන්නට බත් පතට කෙළවීම ය.

දැන් ප්‍රශ්නය ඇත්තේ කොතැන ද?

වී තොග ඇති තරම් තිබේ. ඒවා මිල වැඩි වන්නට කිසිදු කොන්දේසියක් නැත. විදුලි බිල – තෙල් මිල පවා අඩු වූවා විනා වැඩි නොවුණු බැවින් තාර්කිකව සිදු විය යුත්තේ සහල් මිල අඩු වීමයි. මේ අනුව මහමෝලුන් ඇතුළු මේ කල්ලිය සහල් වැඩි මිලට විකුණා අතිදැවැන්ත ලාභයක් ලබන බව පැහැදිලි ය.

ගෝටා පන්නයේ බොරු පම්පෝරි ගෝරානාඩු හෝ තඹ දොයිතුවක බලපෑමක් නොකරන ගැසට් කබල්වලින් මේ ගැටලුව විසඳිය නොහැකි බව යළි යළිත් පැහැදිලි වෙයි.

සහල් තොග සඟවා ගෙන අයුතු ලෙස මහජනතාවගේ රීරිමාංස සූරාකන උන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට තරම් විධායක බලයත්, ව්‍යවස්ථාදායක බලයත්, පොලිසිය ඇතුළු ත්‍රිවිධ හමුදා සන්නද්ධ බලයත් ආණ්ඩුවට තිබේ.

දිනකට වතු සේවකයන් කුලී මලී කරන්නන් සඳහා අවම වැටුප රුපියල් 1000වත් නොලැබෙන මහා පිරිසක් රටේ වෙසෙන බව වාම ආණ්ඩුවට සිහිපත් කළ යුතු ය. පොල් ගෙඩියක් රුපියල් 200ටත් හාල් කිලෝවක් රුපියල් 275ටත් මිලට ගෙන අමුවෙන් කෑම හැරෙන්නට ඔවුන්ට විකල්පයක් ඇත්තේ නැත.

මෙම ප්‍රශ්නයට නිසි පිලියම් නොකර තවදුරටත් කෙකර ගාමින් සිටින්නේ නම් එයින් හෙළිවන්නේ ආණ්ඩුවේ අසමත්කම විනා වෙන කෙංගෙඩියක් නොවේ. කළ යුතු කිසිවක් නොකර සිටින්නේ නම් එක්කෝ අසමත්කම නිසා ය. නැත්නම් ඡන්ද කැම්පේන්වලට මහමෝලුන්ගෙන් කෝටි ගණන් සල්ලි ගත්ත නිසා ය. වෙන හේතුවකුත් ඇත්නම් සෝදනවරු විසින් ඒ බව අපටත් දැනගන්නට කිව යුතු ය.

  • සඳුන් ප්‍රියංකර විතානගේ

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *