තමා පැහැර ගැනීමට උත්සාහ කරන බවට ඇති වූ වැරදි වැටහීමක් නිසා වෛද්‍යවරියක් ගිලන් රථයකින් පැනීමේ සිද්ධියක් නෙළුම්බුලම පොලිසියෙන් වාර්තා වනවා.
සිදුවීම සම්බන්ධයෙන් ගිලන් රථ රියැදුරකු සහ රෝහල් සේවකයකු අත්අඩංගුවට ගෙන පසුව මුදා හැරිය බව වවුනියාව පොලිසිය ප්‍රකාශ කළා.
වවුනියාව පම්පෙමඩුව ආයුර්වේද රෝහලේ නේවාසික රෝගී සම්බාහන වාට්ටුව වෙත රාත්‍රී ආහාර රැගෙන ගිය ගිලන් රථයට රෝහලේ සිටි වෛද්‍යවරියක් ගොඩවී ඇත්තේ තමන් වවුනියාව නව බස් නැවතුම්පොළ වෙත ඇරලවන ලෙස ඉල්ලමින්. රෝහලෙන් පිටත් වූ ගිලන් රථය වවුනියාව බස් නැවතුම්පොළ වෙත කෙටි මාර්ගයකින් ගමන් කර ඇති අතර රථය සුපුරුදු මාර්ගයෙන් ගමන් නොකිරීම නිසා තමන් පැහැර ගැනීමට සැරසෙන බවට වෛද්‍යවරියට සැකයක් මතු වී තිබෙනවා. එයින් බිය ගත් වෛද්‍යරිය කෑගසමින් රථයෙන් පිටතට පැන ඇති අතර ප්‍රදේශවාසීන් පිරිසක් රථය නතර කර පොලීසිය කැඳවා තිබෙනවා.
වෛද්‍යවරිය බස්නැවතුම වෙත කෙටි මාර්ගයෙන් රැගෙන යාම සිදු කරන බවට ගිලන් රථයේ රෝහල් සේවකයා ද්‍රවිඩ භාෂාවෙන් ගිලන්රථ රියැදුරුට පවසා මාර්ගය පිළිබඳ ප්‍රකාශ කිරීමේදී සිංහල පමණක් දන්නා වෛද්‍යවරිය එය තේරුම් ගැනීමට නොහැකිව වරදවා තේරුම් ගෙන කෑ ගසා ඇති බවට විමර්ශනවල දී අනාවරණය වූ බව පොලීසිය ප්‍රකාශ කළා.