Sat. Jun 28th, 2025

අපේක්ෂකයන්ගේ අයිතීන් ගැනත් දිලිත් කතා කරයි

ජනාධිපති ධුර අපේක්ෂකයන් අතර ඊයේ (07) පැවති මුහුණට මුහුණ සජීවී විවාදයට සහභාගී නොවූ ජනාධිපති ධුර අපේක්ෂකයන්ට තව දුරටත් ජනතාව ආමන්ත්‍රණය කිරීමේ අයිතියක් නොමැති බව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක දිලිත් ජයවීර පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (08) හලාවත පැවති ජනහමුවකට එක්වෙමින්.

මාර්තු 12 ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද ජනාධිපති ධුර අපේක්ෂකයන්ගේ මුහුණුට මුහුණ සජීවි විවාදයේ පළමු අදියර ඊයේ පැවැත්වුණා. සජිත් ප්‍රේමදාස සහ නාමල් රාජපක්ෂ මෙම විවාදයට ඊයේ සහභාගී වන බව දැනුම් දී තිබුණත් ඔවුන් දෙදෙනාම සහභාගී වුණේ නෑ,

රනිල් වික්‍රමසිංහ සහ අනුර කුමාර දිසානායක දෙපළ මෙම විවාදයට සහභාගී නොවන බව මීට පෙර දැනුම් දී තිබුණා.

දිලිත් ජයවීර අද හලාවතදී වැඩි දුරටත් මෙසේ ප්‍රකාශ කළා.

“ඊයේ විවාදයට ආපු නැති, එනවා කියලත් ආපු නැති අනුර කුමාරටත්, සජිත් ප්‍රේමදාසාත්, නාමල් බබාටත්, රනිල් වික්‍රමසිංහටත් මේ රටේ ජනතාව තවදුරටත් ආමන්ත්‍රණය කරන්නට අයිතියක් නැහැ. මුළු ලංකාවේම නාලිකා හිටියා තම තමන්ගේ වැඩපිළිවෙළවල් කියනතුරු දැන් තම තමන්ගේ දායක සභාවල් ගෙනල්ලා ඉස්සරහා පුටු ටිකේ වාඩි කරලා. සල්ලිවලට ගෙනාපු මිනිස්සු ටික පස්සෙන් වාඩි කරලා. කැමරාවක් උඩින් යවලා දායක සභාවට දේශනාකරලා වැඩක් නැහැ. ලංකාවේ ඔක්කොම මිනිස්සු අද දන්නවා මොවුන්ට වැඩපිළිවෙළක් නැහැ. ඒක නිසා තමයි ආවේ නැත්තේ. ඔබේ ජීවිතය වෙනස් වෙන විදිහ කියන්න දන්නේ නැහැ. ජනාධිපතිවරණය ඉවර වුණාම ඔබ ආයෙමත් ඒ වළේ හෝ ඊට වැඩිය විශාල වළක වැටෙනවා නම් අපි තුන්වෙනි ලෝකයේ රටක් හැටියට ඉඳලා යම ලෝකයේ රටක් වෙනවා නම් මොනවද කතා කරන්නේ? අන්න ඒකයි අපිට කියන්න තියෙන්නේ ආදරණීය අම්මේ තාත්තේ.”   

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *