Sun. Jun 29th, 2025

දේශපාලන අනාත ගංවතුරේ දිලිත් කොටයේ එල්ලී පණ රැක ගැනීම!

Oct6,2024 #2024 #news #slpolitics

ප්‍රකට ව්‍යවසායක දිලිත් ජයවීර ‘සතුටු දැයක් ව්‍යවසායකත්ව රාජ්‍යයක්’ යන තේමාවෙන් ජනපතිවරණයට තරඟ කිරීමට තීරණය කරන විට බොහෝ දෙනා එය උපහාසයෙන් හෙළා දකිනු ලැබීය. රොටී කඩ බොහෝ ගණනක ඇවිද පක්ෂ ලකුණ රොටිය යැයි සිතෙන තරමට රොටී කමින් සමාජ මාධ්‍ය අවධානය දිනාගත් දිලිත් පළමු ඉදිරිපත්වීම ලෙස ජනපතිවරණයේදී සැලකිය යුතු ඡන්ද ගණනක් දිනාගත්තේ ය.

ඒ 2024 ජනපතිවරණයෙන් ඡන්ද 122396ක ප්‍රමාණයක් ලබා ගෙන 6 වෙනියා බවට පත් වෙමිනි.

කෙසේ වෙතත්, මේ වන විට දිලිත්ගේ දේශපාලන ආගමනයේ තරම තහවුරු කරමින් ඔහු මහමැතිවරණය වෙනුවෙන් බලමුළු තරකර ගනිමින් සිටින බව පෙනේ.

සූර ව්‍යාපාරිකයෙක්ගේ ඥානය භාවිතා කරමින් ඔහු ප්‍රථමයෙන් දිනාගනු ලැබුවේ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයයි. මාක්ස්වාදයට එරෙහි දිලිත් සහ කොමියුනිස්ට් පක්ෂය යනු තක්කාලි සහ බෝල්ට් ඇණ වැනි ය. එහෙත් දිලිත් තමන්ට සහය දෙනු පිණිස මෙරට ‌ෙඑතිහාසික වාම පක්ෂයක් වූ කොමියුනිස්ට් පක්ෂය දණ ගැස්වූයේ එම පක්ෂයේ එකම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සහ මාතර බලකණුව වූ වීරසුමන වීරසිංහ තමන්ගේ පාශයට ගැනීමෙනි. වීරසුමන රැක ගැනීම පිණිස කොමියුනිස්ට් පක්ෂය තම පක්ෂය ලකුණ ලබා දී ප්‍රධාන ලේකම් ලෙස දොස්තර වීරසිංහ ගොස් ඇප මුදල්ද තැන්පත් කළේ ය.

කල් යල් බලා රාජපක්ෂ කසඩ දේශපාලනයෙන් හෙම්බත්ව පාරාජිකා වී යන එනමං නැතිව සිටින පොහොට්ටුවන්ට තැනක් දිලිත් නිර්මාණය කළේ ය. විමල්, ගම්මන්පිල, වාසු, රතන, ගෙවිඳු එකී නොකී සියලු දෙනා දැන් ගංවතුරේ ගසාගෙන යද්දී දිලිත් නම් කොටයේ එල්ලී දිවි රැක ගන්නට වෑයම් කරති.

ජවිපෙන් දේශපාලනය ආරම්භ කර මෙරට ඉතිහාසයේ සෑහෙන දේශපාලන මැදිහත්වීමක් කළ විමල් වීරවංශ පවා දිලිත්ට දෙවැනි වී බළලෙකු මෙන් පුරු පුරු ගාමින් වැටී දැවටෙන අයුරු බැලීම සිනහා උපදවනසුළුය.

ව්‍යාපාරික සහකාරියගේ සම්බන්ධය මතින් හෝ පොහොට්ටු බලකණුවක් වූ මහනුවර දිලුම් අමුණුගම ජාතික සංවිධායක කරගත්තේ ය. දේශපාලනයේ අංක එකේ කපටියෙකු වන හිටපු ජනපති මෛත්‍රී පුත් දහම් සිරිසේන පවා සම්බන්ධ කරගන්නට හේ දක්ෂ විය. හිටපු ඇමැති කෝටිපති ව්‍යාපාරික රොෂාන් රණසිංහත් දැන් දිලිත්ගේ මල්ලේ ය. මහාචාර්ය චන්න ජයසුමනද දිලිත් අසබඩ ය.

මේ සියලු චරිත දේශපාලනයේ ළදරුවෙකු වන තමන්ගේ වසඟයට ගැනීමට දිලිත් සමත් වූයේ ය. ආරංචි වෙන අන්දමට ඔවුන් සියලු දෙනා දිලිත් ජයවීර සෙවණේ පදක්කම ලකුණින් මැතිවරණයට ඉදිරිපත්වීමට නියමිත ය. දිලිත් ජයවීර පසුපස සහයට සිටින්නේ ඉන්දියාවද වෙනත් රටක් ද යන්න අපි නොදනිමු. පත්තර වැහෙන යුගයේ පත්තරයක් පවා අරඹමින් මාධ්‍ය අධිරාජ්‍යයක් ද ගොඩනගමින් ඇඩ්වටයිසින් මොළකාර දිලිත් ජයවීර දේශපාලනයට ආවේ විනෝද වන්නට නොවන බව සහතිකය. ඔහු පසුපස සිටින සහයක රට ඉන්දියාව ද වෙන රටක්ද අපි නොදනිමු. මේ මොහොතේ ජනප්‍රිය දේශපාලනයේ ප්‍රතික්ෂේපිත ඉතුරු බිතුරු සමගින් පැමිණියත් දිලිත් ඉදිරියේදී මෙම පිට්ටනියේ සෑහෙන සෙල්ලමක් පෙන්නීමට කැසකවන බව කිව යුතු ය.

  • කෞටිල්‍ය

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *