ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් සහ මහලේකම් නිසාම් කාරියප්පර් යන අයට එරෙහිව කොළඹ දිසාධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ඒ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. අලි සහිර් මවුලානා පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීම වළක්වාලමින්.
අලි සහිර් මවුලානා මහතා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව ලබා දුන් මෙම වාරණ නියෝගය එළඹෙන 11 වැනි දින දක්වා බලපැවැත්වෙන බව වාර්තා වෙනවා.
ඉදිරි ජනාධිපතිවරණයේදී කුමන අපේක්ෂකයාට සහාය දක්වන්නේද යන්න තීන්දු කිරීම සඳහා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලය අගෝස්තු මස 04 වනදා රැස්වූ බවත් එම උත්තරීතර මණ්ඩල රැස්වීමට තමන් සහභාගි නොවූ බවත් එහිදී ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහාය පළ කිරීමට පක්ෂය ගත් තීරණය තමන්ට දැනුම්දී නොතිබූ බවත් පැමිණිකරු පවසා තිබෙනවා.
එසේ තිබියදී තමන් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට කටයුතු කළේ යැයි චෝදනා කරමින් තම පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීම සඳහා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය කටයුතු කරමින් සිටින බව ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර තිබෙනවා.