එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව තවත් වසරකින් ඉදිරියට යෑමට ඉඩ ඇති බව වාර්තා වෙනවා.
ඒ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත මැතිවරණ කෙරෙහි අවධානය යොමු කරමින් බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.
පසුගිය සිකුරාදා සාමාජික රාජ්‍යයන් අතර බෙදා හරින ලද කෙටුම්පතකට අනුව ශ්‍රී ලංකාවට භූමියේ තත්ත්වය ආමන්ත්‍රණය කිරීම සඳහා තවත් වසරක කාලයක් ගතවනු ඇති බවත් සංහිඳියාව සඳහා වන දේශීය යාන්ත්‍රණයන් ක්‍රියාත්මක කිරීමට ද ශ්‍රී ලංකාවට කාලය ලබා දෙනු ඇති බවත් සඳහන් වෙනවා.
කෙසේ වුවත් වගවීම සහ අතුරුදන්වීම් පිළිබඳ අහිතකර විස්තර සඳහන් කරමින් පෙර යෝජනාවලට වඩා තියුණු ලෙස ඉදිරිපත් කර ඇති අතර මෙම කෙටුම්පත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් ශ්‍රී ලංකාව පිළිබඳව ඉදිරිපත් කළ වාර්තාවට සහාය දක්වන බවයි වාර්තා වන්නේ.
කෙසේ නමුත් ශ්‍රී ලංකාව සහ මිත්‍ර රටවල් කිහිපයක් විසින් එම වාර්තාව ප්‍රතික්ෂේප කර තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයේදී මේ සතියේ අදහස් දැක්වූ රටවල් විශාල සංඛ්‍යාවක් ආර්ථික ස්ථාවරත්වය සහ ප්‍රගතිය සඳහා ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නයන්ට සහාය දුන් අතර අන්තර්ජාතික වගවීමේ යාන්ත්‍රණයන්ට විරුද්ධත්වය ප්‍රකාශ කර තිබුණා.