Sat. Jun 28th, 2025

මැතිවරණ කාර්යාල ගලවන්න නියෝග

ඡන්ද කොට්ඨාස මට්ටමින් පිහිටුවා ඇති සියලුම මැතිවරණ ප්‍රචාරක කාර්යාල මේ වන විට ඉවත්කර තිබිය යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා පවසනවා.

ජනාධිපතිවරණ ඡන්ද විමසීම සම්බන්ධයෙන් ඊයේ (19) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් සභාපතිවරයා සඳහන් කළේ 19 වන දින මධ්‍යම රාත්‍රියේ සිට සියලුම කොට්ඨාස මැතිවරණ ප්‍රචාරණ කාර්යාල ගලවා ඉවත් කළ යුතු බවයි.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පවසා සිටියේ විවෘතව තැබිය හැක්කේ මැතිවරණය කොට්ඨාසයේ නැත්නම් දිස්ත්‍රික්කය සඳහා එක් කාර්යාලයකුත්, ඡන්ද ප්‍රදේශයක් නැත්නම් පැරණි ආසනයක් සඳහා එක් කාර්යාලයකුත් පමණක් බවයි.

වැඩි දුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා මෙසේ ප්‍රකාශ කළා.

“අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දැනට ඡන්ද කොට්ඨාස මට්ටමින් පිහිටුවා තිබෙන සියලුම ඡන්ද කාර්යාල ඉවත්කිරීම අවශ්‍ය වෙනවා. ඊයේ වෙනකම් අවසර දීලා තිබුණා දිස්ත්‍රික්කයට එක ප්‍රධාන කාර්යාලයකුත්, සෑම ඡන්ද කොට්ඨාසයකම (ඡන්ද මධ්‍යස්ථානයකට අදාළ වන කොටසට) එක් කාර්යාලයකුත් බැගින් පවත්වාගෙන යන්න. නමුත් ඔවුන් ඉවත්කර ගන්නේ නැත්නම් අපි, පොලිසිය මගින් ඒවා ඉවත්කරගන්න කටයුතු කරනවා.

අපේක්ෂකයාගේ නිවස තව දුරටත් කාර්යාලයක් ලෙස පවත්වාගෙන යා හැකියි. නමුත් දැනට පවත්වාගෙන යන කාර්යාල හෝ අපේක්ෂකයාගේ නිවස ඡන්ද මධ්‍යස්ථානයේ සිට මීටර 500ක් ඇතුළත පිහිටුවා තිබෙනවා නම්, 21වැනිදා ඡන්ද විමසීම ආරම්භ වීමට පෙර ඒ කාර්යාලත් ඉවත්කරගන්න ඕන. ඒ වගේම අපේක්ෂකයාගේ නිවස ඒ සීමාව තුළ තිබෙනවා නම් ඔහුගේ ඒ නිවසේ තියෙන සැරසිලි හා ප්‍රචාරක පුවරු ඉවත්කර ගැනීම කළ යුතු වෙනවා.”

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *