Sat. Jun 28th, 2025

විනිසුරුට මඩ ගැසූ තවත් දෙදෙනෙක් කොටු

Oct3,2024 #cid #court order #judge #police

මන්නාරම මහාධිකරණ විනිසුරුවරයාට අපහසාත්මක දැන්වීම් ඇලවීමේ සිද්ධියට අදාළව තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (02) දින දහවල් කාලයේ දී කැලණිය සහ දෙහිවල යන ප්‍රදේශවලදී මෙම සැකකරුවන් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

ඔවුන් සන්තකයේ තිබූ ජංගම දුරකථන 03ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අඹකොටේ සහ දෙහිවල යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 27 සහ 41 වයස්වල පසුවන්නන්.

ඔවුන් අද (03) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

සැකකරුවන් විසින් අදාළ පෝස්ටර් නිර්මාණය කිරීම, මුද්‍රණය කිරීම හා සන්තකයේ තබා ගැනීම සිදුකර ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

පසුගිය අගෝස්තු 28 වන දින මන්නාරම මහාධිකරණ විනිසුරුවරයාගේ ඡායාරූපය ඇතුළත් කරමින් ඔහුට අපහාසයක් සිදුවන අයුරින් කිසියම් පිරිසක් විසින් කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල දැන්වීම් ඇලවීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය විමර්ශනයක් ආරම්භ කර තිබුණා.

එහිදී සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය සැප්තැම්බර් 11 වන දින මඩපාත, මාතලේ සහ පන්නිපිටිය යන ප්‍රදේශවල පදිංචි සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණා.

ඔවුන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

සිද්ධිය සම්බන්ධව අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *