Wed. Apr 30th, 2025

පෞද්ගලීකරණය ගැන ලංවිමෙන් අනාවරණයක්

නව ජනාධිපතිවරයාට ලැබුණු සමාජ පරිවර්තන ජනවරමට අනුව බලශක්ති ක්ෂේත්‍රයට නිසි ප්‍රතිසංස්කරණ හඳුන්වාදීමට නියමිත බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් විදුලිබල මණ්ඩලය කියා සිටියේ රජය සතු විදුලිබල අංශයේ වත්කම් පෞද්ගලීකරණය නොකර මහජන සහ පාර්ශ්වකරුවන්ගේ පුළුල් උපදේශන ඔස්සේ විදුලිබල පනත සංශෝධනය කිරීම හරහා මුල පිරීම් කිහිපයක් සිදුකිරීමට නියමිත බවයි.

ස්වාධීන පද්ධති ක්‍රියාකරු (ISO) සහ නොබැඳි ජනනය, සම්ප්‍රේෂණ සහ බෙදාහැරීමේ බලපත්‍රලාභීන් ස්ථාපිත කර ඇති ශක්තිමත් තනි ගැණුම්කරුවන්ගේ වෙළඳපොළක් යටතේ ඉදිරි වසර පහ තුළ කලාපයේ අඩුම විදුලි පිරිවැය ළඟා කර ගැනීමට කටයුතු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය වැඩි දුරටත් පැවසුවා.

බලශක්ති අමාත්‍යාංශය විසින් ගනු ලබන ඉදිරි වැඩපිළිවෙළ සඳහා සියලු දෙනාගේ සක්‍රීය දායකත්වය ලබා ගැනීමට සෑම තරාතිරමකම සේවකයන් නියෝජනය වන පරිදි කමිටුවක් පිහිටුවීමට ද යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව එහි වැඩි දුරටත් සඳහන් වෙනවා.

විදුලිබල අංශයේ ප්‍රතිසංස්කරණ පිළිබඳ අන්තර්ජාලය ඔස්සේ දැනුවත් කිරීමේ වැඩසටහනක් 2024 ඔක්තෝබර් 23 වැනි දින ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සමස්ත කාර්ය මණ්ඩලය සඳහා පවත්වා තිබුණා.

“වෙනස්වීම පොදු යථාර්ථයක්; ඕනෑම ආයතනයකට කාලෝචිත වෙනස්කම් අත්‍යවශ්‍යයි. සේවාවේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට, පාරිභෝගික තෘප්තිය ඉහළ ප්‍රමිතීන් පවත්වා ගැනීමට, සංවිධානයට සාධාරණ ලාභ ඉපැයීමට, සමාජ ආර්ථිකයට ඉහළ ප්‍රතිලාභ සහතික කිරීමට සහ සේවකයන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට ඕනෑම ආයතනයකට වරින් වර ඇගයීම් සහිත විධිමත් ආයතනික ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍යයි.” යනුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය වැඩි දුරටත් අවධාරණය කළා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *